Mon - 23 December 2024

ලසන්ත ඝාතනය ගැන තවත් සැකයක්

ඝාතනය කරන ලද සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතන සැලසුම සහ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් හෙළිනොවූ සැක කටයුතු කාරණාවක් අලුතින් හෙළි වී තිබේ.

එනම් ලසන්ත ඝාතනය කළ දිනයේ සහ ඊට පසුදිනයේ එවකට ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ සහ එවකට ඔහුගේ නීතිඥයා වූ වත්මන් විදේශ ඇමැති අලි සබ්‍රි දෙදෙනා අතර හුවමාරු වූ SMS පණිවුඩ රැසක් පසුව ඔවුන්ගේ ජංගම දුරකථන පහසුකම් සැලසූ සමාගමට කියා ඒවා මකා දැමීමයි.

ලසන්ත එවකට ගෝඨාභයගේ කුප්‍රකට මිග් ගනුදෙනුවේ ගැහිල්ල ගැන සන්ඩේ ලීඩර් පුවත්පත හරහා සාක්කි සහිත කරුණු හෙළිකරමින් සිටියේ ය. ලසන්ත ඝාතනය කරන විට ගෝඨාභය රාජපක්ෂ විසින් ගල්කිස්ස අධිකරණය මගින් ලසන්තට එරෙහිව වාරණ නියෝගයක් ලබාගෙන තිබිණ. ඉන් කියැවුනේ ගෝඨාභයට එරෙහිව කිසිවක් සන්ඩේ ලීඩර් පුවත් පතේ පළ කිරීම ලසන්තට වාරණය කිරීමයි. එකී නඩුවට පෙනී සිටියේ ගෝඨාභයගේ එවකට නීතිඥයා වූ අලි සබ්‍රි ය.

ලසන්ත ඝාතනය කරන ලද්දේ 2009 ජනවාරි 08 දා දහවල් 10.45 ට පමණ ය.

ගෝඨාභය සහ අලි සබ්‍රි අතර හුවමාරු වූ SMS පණිවුඩ ජංගම දුරකථන සේවාව ලවා මකා දමා ඇත්තේ ද 2009 ජනවාරි 08 සහ 09 වැනි දිනවල හුවමාරු වූ පණිවුඩ ය.

විශේෂයෙන් එම දින දෙකේ පණිවුඩ පමණක් මකා දැම්මේ ඇයි..?

ලසන්ත ඝාතන සැලසුම පිළිබඳ හෝ එකී ඝාතනය සිදුකරන ලද ඝාතකයන් සමග සිදුකරන ලද පණිවුඩ හුවමාරු පිලිබඳ සාක්කි හෝ ගෝඨාභය තම නීතිඥයා සමග සිදුකරන ලද පණිවුඩ හුවමාරු වලින් හෙළිවේවි යන බිය ට සාක්කි මකා දැමුවා ද?

ලසන්ත ඝාතනය පිළිබඳ සාර්ථක විමර්ශනයක් ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමින් මේ දක්වා සිදු කර නැත. මතු හෝ එවැනි පරීක්ෂණයක් සිදුකරන්නේ නම් ඉහත අප හෙළිදරව් කරන කාරණය පිලිබඳ විමර්ශනයක් කළ යුතුය.

Related Post