Sun - 22 December 2024

online visa හොරුන් අධිකරණ නියෝගයට පයින් ගසමින් නිදැල්ලේ!!!

VFS

පෞද්ගලික සමාගමක්(GBS Technology Services & IVS Global- FZCO, VFS VF Worldwide Holdings LTD) විසින් මෙහෙයවීමට නියමිත අන්තර්ජාල වීසා අයැදුම් කිරීමේ ක්‍රියාවලියට අනුමැතිය ලබාදීමට ගත් කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබුණේ පසුගිය අගෝස්තු මාසයේදීය.එය පෙත්සම්වලට විසඳුම් ලැබෙන තුරු මෙම අත්හිටුවීම බලපැවැත්වේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා වීසා බලපත්‍ර නිකුත් කිරීමේ ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර (ETA) ක්‍රමය හැසිරවීම සඳහා පුද්ගලික ආයතන මිලදී ගැනීමේදී නිලධාරීන් විසින් ක්‍රියා පටිපාටි උල්ලංඝනය කිරීම් සහ මහජන විශ්වාසය අනිසි ලෙස භාවිත කිරීමට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා මෙම ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ඉදිරිපත් කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒම්.ඒ.සුමන්තිරන්, රවුෆ් හකීම් සහ පාටලී චම්පික රණවක ඇතුළු පිරිසකි. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලදී. පෙත්සමේ වගඋත්තරකරුවන් අතර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා, ආගමන පාලක ජනරාල්වරයා, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, GBS Technology Services & IVS Global- FZCO, VFS VF Worldwide Holdings LTD ආයතනය, ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලය සහ නීතිපතිවරයා ද වේ.

VFS Global විසින් කටුනායක ගුවන් තොටුපළේ ක්‍රියාත්මක කරන වීසා අයැදුම් කිරීමේ ක්‍රියාවලිය හරහා ලැබෙන ආදායම ඩුබායි හි බැංකු ගිණුමකට සම්බන්ධ වීම පිළිබඳව රාජ්‍ය මූල්‍ය පිළිබඳ කමිටුවේ (CoPF) සාමාජික පිරිසද සිය කනස්සල්ල පළකර තිබිණි..

ඩුබායි ගිණුමෙන් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු ගිණුමට මුදල් තැන්පත් කරන්නේ සතියක කාලයකින් පසුව බව අනාවරණය වී ඇත.

VFS Global එක් සංචාරකයකුගෙන් ඇමෙරිකානු ඩොලර් 25.77ක් අය කරනු ලැබේ.
ශ්‍රී ලංකා රජය VFS Global සමඟ අත්සන් කර ඇති වීසා ක්‍රියාවලි බාහිරින් ලබා ගැනීමේ ගනුදෙනුවට අදාළව බරපතල අක්‍රමිකතා ඇති බැවින් එය අවලංගු කරන ලෙස රාජ්‍ය මූල්‍ය කමිටුව (COPF) පවා නිර්දේශ කර ඇත.

එසේම පිරිවිතර ලියවිල්ලක් නොමැතිව ගිවිසුම අත්සන් කර ඇති බව ද මුදල් කමිටුවේ සභාපතිවරයා විසින් හෙළිකර ඇත. එසේම, කොන්ත්‍රාත්කරු විසින් පොරොන්දු වූ ඩොලර් මිලියන 200ක ආයෝජනය ගෙනවිත් නොමැති අතර, ටෙන්ඩර් පටිපාටියද නිසි ලෙස අනුගමනය කර නැත.

COPF හි සාමාජිකයෙකු වන රවුෆ් හකීම් පවසා සිටියේ VFS ගනුදෙනුව බැඳුම්කර මගඩියට වඩා දස ගුණයක නරක ගනුදෙනුවක් බවයි.VFS වංචාව ඇමරිකානු ඩොලර් බිලියන 2.6 ඉක්මවා යන කූට ගනුදෙනුවක් බව ඔහු මේ වන විට හෙළි කර තිබිණි.

VFS ආයතනය සම්බන්ධයෙන් මුදල් කාරකසභාවේදී ආචාර්ය හර්ෂ ද සිල්වා ඉදිරිපත් කළ අවසන් වාර්තාව හේතුවෙන් අගෝස්තු 23 වැනි දින පාර්ලිමේන්තුවේදී උණුසුම් විවාදයක් සිදුවිය. එහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මේ පිළිබඳ වරප්‍රසාද කමිටුවට පැමිණිලි කිරීමට පියවර ගත්තේය. ඒ අනුව මැති ඇමැතිවරු ඒ පිළිබඳ අදහස් දක්වන්නට යාමෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් මතුවිය.
එම සංවාදයේදී පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් මෙවැනි අදහස් පළ කරන ලදී.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ 2024.07.12 වැනි දින පාර්ලිමේන්තුවේදී රාජ්‍ය මුදල් කාරකසභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් වීසා නිකුත් කිරීමට ගාස්තු අයකිරීම හා සම්බන්ධයෙන් වන වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත සභාගත කරන ලදී. එකි වාර්තාව මගින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් විදේශිකයන් වෙත වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබූ අතර, එකී නිර්දේශ රාජ්‍ය මුදල් කාරකසභාව විසින් ඒකමතිකව අනුමත කරන ලද බව වාර්තාවේ සඳහන් කර ඇත. ඒ අනුව මෙකී කාරකසභාවේ ආණ්ඩු පක්ෂ විපක්ෂ සාමාජිකයන් 27 දෙනකු පමණ සිටින අතර, ඒ අතරින් බහුතරයක් වන මාද ඇතුළත්ව කාරකසභාවේ සාමාජික මන්ත්‍රීවරුන් 16 දෙනෙක් පමණ අස්සන් කර ලිඛිතව ඔබතුමා වෙත දැනුම් දෙන ලද්දේ සභාපතිවරයා විසින් කරන ලද නිර්දේශ සම්බන්ධයෙන් අප එකඟ නොවන බවයි. එකී ලිපියේ පිටපතක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම සභාගත කරන්න කැමැතියි.

ඒ අනුව 2024.07.12 වන දින කාරකසභාවේ සභාපති හර්ෂ ද සිල්වා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ දෝෂ සහිත වාර්තාවක් වේ. එබැවින් 1953 අංක 21 දරණ පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතේ උපලේඛනයේ ‘ආ’ කොටසේ දැක්වෙන ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම දඬුවම් කළ හැකි වැරැදි අතරින් 4 වැනි වැරැද්ද වන පාර්ලිමේන්තුව හෝ යම් කාරකසභාවක් රැවැටීමේ අදහසින් පාර්ලිමේන්තුව වෙත හෝ යම් කාරකසභාවක් වෙත ව්‍යාජ අසත්‍ය හෝ වරදවා පෙන්වූ ලේඛනයක් ඉදිරිපත් කිරීම යන වැරැද්ද මෙහිදී සිදුව ඇති බව මාගේ විශ්වාසයයි. එම නිසා රාජ්‍ය මුදල් කාරකසභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් 2024.07.12 දින ඉදිරිපත් කරන ලද අසත්‍ය සහ ව්‍යාජ වාර්තාව මගින් එකී කාරකසභාවේ සාමාජික මා ඇතුළු බහුතරයකගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇති බව පෙනී යයි. ඒ අනුව 2024.07.23 වන දින මෙම කාරණාව ගරු සභාව හමුවේ ඉදිරිපත් කිරීමට අවසර ලබාදෙන ලෙසත්, මෙකී වරප්‍රසාද කඩවීම ප්‍රමුඛතම කාරණයක් සේ සලකා පාර්ලිමේන්තුවේ ආචාරධර්ම හා වරප්‍රසාද කමිටුව වෙත යොමුකරන ලෙසත් ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.ශෙහාන් සේම සිංහගේ මෙම ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේ පවසා සිටින ලදී.

ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මාව හිරේ දාන්න උත්සාහ කරනවා මං හිරේ දාන්න ඕනේ වරදක් කළා කියලා. මේක ලොකු චෝදනාවක්. ඒ නිසා මම මේ සම්බන්ධයෙන් එක දෙයක් කියන්නම්. ඒ තමයි මේ කරපු සියලු චෝදනා එක්ව හා වෙන් වෙන් වශයෙන් මා විසින් තරයේ ප්‍රතික්ෂේප කරනවා. මම පාර්ලිමේන්තුව නොමග යැව්වා කියලා මාව හිරේ දාන්න හදනවා නම්, මම ඉදිරිපත් කරපු එක මට ලබාදෙන්න ගරු නියෝජ්‍ය කතානායකතුමා. ඒක මම අධ්‍යයනය කරලා ඒකට සියලු කාරණා මම ඉදිරිපත් කරන්නම්. මේ පළවෙනි පාර නෙවෙයි මාව ඉවත් කළේ. මම ගල් අඟුරු වාර්තාව ඉදිරිපත් කළාමත් මාව මේ වගේ කරලා ඉවත් කළා. ඒ නිසා මට මේක අලුත් දෙයක් නෙවෙයි. මම විපක්ෂයේ ඉඳලා මේ කාර්යභාරය කරන්නේ බොහොම අමාරුවෙන්. මගේ කාරකසභාවේ ඉන්න කාරකසභා මන්ත්‍රීවරුන් දන්නවා ඒක. මම හිතන්නේ ෂෙහාන් සේමසිංහත් ඒ බව දන්නවා. මම බොහොම සාධාරණව මේ සියලු දේ කළේ. මේ මන්ත්‍රීතුමන්ලාට සති තුනක කාලයක් තිබුණා. මම හොරෙන් හංගලා කරපු එකක් නෙවෙයි. ඔවුන් ඉදිරිපත් කරපු සියලු වාර්තා මම ඉදිරිපත් කර තියෙනවා. රවුෆ් හකීම් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු සංචාරක ඉලක්කම් සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් ඇතිවුණා. එතකොට වජිර අබේවර්ධන කිව්වා ටිරාන් අලස් තමාගේ ඇමති කාර්යාලයෙන් ඒකට නිවැරැදි කිරීමක් එවනවා කියලා. ඒක තමයි කියන වාර්තාව. ඒක ඇතුළත් කරන්න කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමා ඒ වාර්තාවට ඒක ඇතුළත් කරලා තියෙනවා. ඊට පස්සේ තව කරන්න දෙයක් නෑ එසේම අගමැතිතුමා. මම මේක අධ්‍යයනය කරලා පිළිතුරක් දෙනවා. එතකන් මුදල් කාරකසභාවේ සභාපතිකම කවුරු හරි අරගෙන කරන්න. මේ සංවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් විදේශික සංචාරකයන්ගේ පැමිණීම මේ වීසා හුටපටයෙන් පස්සේ අඩුවුණාය කියන එක පිළිබඳ සංඛ්‍යාලේඛන සහිතව මම වගකීම බාර අරගෙන මම පෙන්නුම් කළා විතරක් නෙවෙයි, එතැන පැමිණ සිටි සංචාරක සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඩිරෙක්ටර් ජෙනරල් මම කියපු දේ පිළිගත්තා. එහෙම අඩුවීමක් වෙලා තියෙනවා. වීසා හුටපටයෙන් පස්සේ තමයි ඒක වුණේ. මේ ගැන අපි අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරලා තියෙනවයි කියලා අපේ කමිටුවේදී එතුමා පිළිගත්තා. එහෙම තියෙද්දී මම බොරු කාරණා ඉදිරිපත් කළා කියලා කියන එක සම්පූර්ණයෙන්ම සාවද්‍යයි. මම වගකීම බාරගන්නවා. එසේම මේ සංවාදයට එක්වුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියේ අපේ මුදල් කාරකසභාවේ සභාපතිතුමා හැටියට මගේ මිත්‍ර හර්ෂ ද සිල්වා මැතිතුමා අපි කටයුතු කරන හැම අවස්ථාවකදීම එතුමාට යම් ප්‍රශ්න පැනනැගිච්ච හැම වෙලාවකදීම මම එතුමා වෙනුවෙන් පෙනීඉඳලා තිබෙනවා. ඔබතුමා ඒක පිළිගන්නවා. ඒ නිසා ඔබතුමා ඒ කාරකසභාවේ කරන කාර්යභාරය පිළිබඳ කිසි ගැටලුවක් නෑ. ඔබතුමා දන්නවා හැම අවස්ථාවකදීම අපි ඔබතුමා එක්ක ඉඳලා තියෙනවා. අපි ඉදිරියටත් ඉන්නවා. ඒ නිසා ඒ පිළිබඳ අපට ප්‍රශ්නයක් නෑ.මගේ ප්‍රශ්නය මූලාසනයේ ගරු සභාපතිතුමනි, හකීම් මැතිතුමා කිව්වා වගේ, මේ වාර්තාව සාකච්ඡා කරගෙන යනකොට සංචාරක මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ඇවිල්ලා අපට කිව්වා සංචාරකයන්ගේ අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා, රජයට ආදායම් අඩුවීමක් වෙලා තියෙනවා, හකීම් මැතිතුමා කිව්වා වගේම. ඒ කියපු වෙලාවේ ආණ්ඩු පක්ෂයේ අපි සියලු දෙනාම රැස්වෙලා කිව්වා එහෙම අඩුවීමක් වෙලා තියෙනවා නම් මෙතැන ප්‍රශ්නයක් තියෙනවා. මේකට ආණ්ඩු පක්ෂය හැටියට අපි එකඟ නෑ කියන එක අපි කිව්වා. ඒ අනුව නියෝජ්‍ය කතානායකතුමනි අපි ආගමන විගමන පාලකතුමා කැඳවලා එතුමාගෙන් ලිඛිතව ඉල්ලුවා. ඒ ලිඛිතව ඉල්ලපු එක මම ඔබතුමාට කියන්නම්. ගිය අවුරුද්දේ ජූලි මාසේ සංචාරකයෝ 59,244යි. මේ අවුරුද්දේ 94,993යි. කලින් මාසේ 119000යි ගිය අවුරුද්දේ. මේ අවුරුද්දේ 149982යි. ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ හාරලක්ෂ ගානක්. මේපාර දහතුන් ලක්ෂයක්. ඒ වගේම ආදායම ගත්තාම මේ මාස තුනේ දිගටම වැඩිවෙලා තියෙනවා කියලා ආගමන විගමන පාලකතුමාට තමයි මේක ලැබෙන්නේ. එතුමා ලිඛිතව අපට දැනුම් දුන්නා දිපු සංඛ්‍යා ලේඛන වැරැදියි. මේක තමයි කියලා. ඒ නිසා අපේ හකීම් මැතිතුමා සංචාරකයෝ අඩුවෙලා නම්, අපි ඉන්නෙත් ඔබතුමා එක්ක. මම මේ වගකීමකින් කියන්නේ. හැබැයි ආදායම් වැඩිවෙලා සංචාරකයොත් වැඩිවෙලා මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා මත දෙකක් තිබුණ නිසා මේ පාර්ශ්ව දෙකම කැඳවලා එකඟතාවකට එනතුරු අපි හර්ෂ මැතිතුමාට එදා කිව්වා පොඩ්ඩක් ඉන්න කියලා. අපිටත් වෙරිෆිකේෂන් එකක් තියෙනවා. ඒකයි අපේ ප්‍රශ්නේ. මේක පැහැදිලි කරගත්තට පස්සේ අපට මේක දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපට තියෙන්නේ හර්ෂ මැතිතුමනි ආගමන විගමන පාලක එක සංඛ්‍යාලේඛනයක් කියනවා, සංචාරක අමාත්‍යාංශයේ ප්‍රධානියා තව සංඛ්‍යාලේඛනයක් කියනවා. අපි හරි දේ දැනගෙන එකඟතාවකට එන්න ඕනේ. ඒකයි අපි කිව්වේ එතකම් මේක දාන්න එපා කියලා.ඊට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් විදේශිකයන්ගේ පැමිණීම පිළිබඳ ඒ ලේඛන මේ දෙපාර්ශ්වය ළඟම තියෙන්න පුළුවන්. නමුත් මේ ආගමන විගමන පාලක තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් කිව්වේ බොරු දිවුරුම් ප්‍රකාශයක් දීලා ඩයනා ගමගේ බි්‍රතාන්‍ය පුරවැසියෙක් නෙවෙයි කියලා. එතුමාම තමයි ඔය බොරුව කියන්නේ. ඒ නිසා ප්‍රවේසම් වෙන්න. ශ්‍රේෂ්ඨාධිකරණයටත් බොරු කියපු කෙනෙක් එයා යනුවෙනි.මේ සියල්ලක් හමුවේ ගලේ පැහැරූ බලලේකු මෙන් සිටි අමාත්‍ය ටිරාන් අලස් පවසා සිටියේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව බාරව ඉන්න ඇමැතිවරයා හැටියට මට එක දෙයක් කියන්න ඕනේ. අපේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයාටවත් කාටවත් ෆිගර්ස් හදන්න බෑ. ඒක ඔක්කොම සිස්ටම් එකේ තියෙන ෆිගර්ස්. ඒ ෆිගර්ස් තමයි සංචාරක ප්‍රවර්ධන සභාපතිතුමයි ඒ දෙපාර්තමේන්තුව ලබාගන්නෙත් මෙතැනින් තමයි දත්ත. අපි හැම මාසෙම ඒගොල්ලන් මෙතැනින් තමයි දත්ත ගන්නේ. ඒ නිසා මම වගකීමකින් කියනවා මම අවුරුදු 5ක ෆිගර්ස් ඔක්කොම හදලා ටේබල් එකක් හදලා මේ මන්ත්‍රීතුමාලා ඉල්ලුවාම දුන්නා. ඒකෙන් වී.එෆ්.එස්. එක එන්න ඉස්සෙල්ලා. 2020 ඉඳන් ෆිගර්ස් ටික දුන්නා. ඒකේ පැහැදිලිවම පේනවා වැඩිවීම. ඒකම වී.එෆ්.එස්. එක අප්‍රේල් මාසේ ඉඳන් ආවට පස්සේ අපිට තිබුණා අලුත් කැටගරීස්. ඒ කියන්නේ මාස 6, අවුරුද්දේ, අවුරුදු දෙකේ, අවුරුදු 5, 10 වීසා ඉෂූ කරන එක. අපි ඒකෙනුත් පෙන්නලා දීලා තියෙනවා 53,000 ගානක් ඇවිල්ලා තියෙනවා ටුවරිස්ට්ලා අලුත් කැටගරීස්වලට. මීට කලින් ලංකාවේ ඒ කැටගරීස්වලින් ආපු නැති ටුවරිස්ට්ලා. ඒකෙන් ලැබුණු මුදල රජයට බිලියන 1.4ක්. ඒ ටිකෙන් විතරක්. ඒ සියලු දේ මම ටේබල් එකක් හදලා මන්ත්‍රීතුමන්ලා ඉල්ලපු අයට මම ලබාදීලා තියෙනවා යනුවෙනි.

නමුත් දිගින් දිගට කරුණු සොයා බැලීමේදී රාජ්‍ය මූල්‍ය පිළිබඳ කමිටු (CoPF) වාර්තාවෙන් පවා හෙළි වන්නේ VFS Global ප්‍රධාන කොන්ත්‍රාත්කරු නොවන බවත් GBS තාක්ෂණ සේවා සහ IVS Global FZCO සමඟ ආණ්ඩුව ගිවිසුම් ගත වී තිබෙන බවය. එසේම VFS Global තෝරා ගන්නා ලද්දේ නිල ලංසු කැඳවීමකින් තොරව, තරඟකාරී මිල ගණන් නොකැඳවාය. තවද තරඟකාරී ලංසු කැඳවූයේ නම්, වීසා ගාස්තු ඩොලර් 25 ට වඩා අඩු විය හැකිය. දැන් එය ඩොලර් 60කි.
තවත් සැලකිය යුතු කාරණයක් වන්නේ රජයට අයත් මොබිටෙල් ආයතනය විසින් මේ සමාන සේවාවන් එක් ඩොලරයකට ලබා දී තිබීමයි. එකළ වීසා නිකුත් කිරීම සඳහා කිසිදු නිර්ණායකයක් සකසා නොතිබුණි. CoPF සටහන් කරන්නේ පිරිවිතර ලේඛන නොමැතිව VFS Global හි තේරීමට අවසර දී ඇති අතර, අනෙකුත් සමාගම්වල අවස්ථා එමගින් සීමා කරන බවයි.VFS Global ආයතනය ඩොලර් මිලියන 200 ක ආයෝජනයක් කරනු ඇතයි බලධාරීන් විසින් ප්‍රකාශ කර තිබුණද එවැනි කිසිදු ආයෝජනයක් සිදුකර නැති බව CoPF තහවුරු කරන අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වීසා ප්‍රමාදයන් සහ අමතර ගාස්තු පිළිබඳ මහජන පැමිණිලි අනුව මෙම පරීක්ෂණය සමාජ මාධ්‍ය කැළඹීමට පවා හේතු විය. VFS Global සමඟ ඇති වීසා ක්‍රියාවලිය බාහිරින් ලබා ගැනීමේ ගනුදෙනුව පිළිබඳ වෝහාරික විගණනයක් CoPF කම්ටුව නිර්දේශ කරන අතර අක්‍රමිකතා හේතුවෙන් ගිවිසුම අවලංගු කළ හැකි බව දක්වා තිබේ. මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් පෙන්වා දෙන්නේ මෙම ගිවිසුම මගින් VFS Globa සමාගමට ඩොලර් බිලියන 2.4ක ලාභයක් ලැබෙන බවයි. සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් මෙම ගිවිසුමින් පසු මෙරටට පැමිණෙන සංචාරකයින් අඩු වී ඇති බවට ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් සැප්තැම්බර් 13 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේදී මෙම වීසා ගනුදෙනු සම්බන්ධව පවරන ලද මානව හිමිකම් නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයට පෙනී ගියේ අධිකරණය දුන් නියෝගය පවා ක්‍රියාත්මක කිරීමට ආගමන විගමන පාලකවරයා විසින් හිතාමතාම මගහැර ඇති බවයි. ආගමන විගමන පාලකවරයා වෙනුවට ඉදිරිපත් වූ ආගම නිගමන නිලධාරීන් අධිකරණයට පවසා සිටියේ අධිකරණය දුන් නියෝගය ක්‍රියාත්මක නොකිරීමට තමන්ට සිදුවූයේ එය ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගික ප්‍රශ්න පවතින බැවින් බවයි. එය අධිකරණය හෑල්ලුවට ලක් කරමින් අධිකරණයට අපහාස කිරීමක් බව පැමිණිලි පාර්ශවය පෙන්වා දුන් අතර එදින අධිකරණ නියෝගය වූයේ වහාම ආගමන විගමන පාලකවරයා පෞද්ගලිකවම අධිකරණයට එදිනම ඉදිරිපත් විය යුතු බවයි.

ඒ වන විටත් ආගමන විකරණ පාලකවරයා රටින් බැහැරව ගොස් පැය කීපයක් ගතවී හමාරය. මෙය අනිවාර්යෙන්ම සැලසුම් සහගත ක්‍රියාවලියක් වන අතර මෙහි තිරය පිටිපස සිටින පුද්ගලයන් වසන් කර ගැනීම පිණිස ආගමන විගමන පාලකවරයා මෙසේ සැඟවී ඇති බවට ද දැඩි සැකයක් පවතී.

කෙසේ වෙතත් මේ පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ පොලිසිය හරහා සිදුනොවන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ බැවිනි යැයි සාධාරණ සැකයක් පවතින්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව බාර ඇමතිවරයාත් පොලිසිය බාර අමාත්‍යවරයත් දෙදෙනාම ටිරාන් අලස් බැවිනි.

Related Post