රට පුරා මහත් ආන්දෝලනයට තුඩුදුන් 2020 වසරේ දී දූෂිත ගනුදෙනුවක් ලෙසට සිදුකළ සීනි බදු අඩුකිරීම සහ සතොස ආයතනයේ සීනි ගනුදෙනු සම්බන්ධයෙන් රටේ මහජනතාවට සිදුකළ පාඩුව පිළිබඳ නැවතත් කතාබහට ලක්වෙමින් තිබේ.
ඊට හේතුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන වසරේ අප්‍රේල් මාසයේදී නැවත විභාගයට ගැනීමට අවසර ලබාදීමත් සමගයි.
සීනි බදු වංචාව දූෂිත දේශපාලන අනුග්‍රහයෙන් රටේ සිදුවූ එක් මහා පරිමාණ වංචාවක් පමණි.
මෙම වංචාව පිළිබඳව විගණනයක් සිදුවූ අතර එම විගණන වාර්තාවට අනුව සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ ආනයනික බද්ද රුපියල් 50 සිට සත 25 දක්වා අඩු කරමින් 2020 වසරේ ඔක්තෝබර් 14 වනදා එවක රජය ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර 2021 වසරේ පෙබරවාරි 08 වනදා සීනි සඳහා පනවා තිබූ පාලන මිලද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ රජය විසින් ඉවත් කරනු ලැබීය. මෙම කාලය තුළ ලංකා සතොස ආයතනය වරින් වර පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ගෙන් සීනි මිලදී ගෙන අලෙවි කිරීම නිසා සිදුව ඇති අලාභය රුපියල් මිලියන 102ක් බව ඉහත කී විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබිණි. එම විගණන වාර්තාවට අනුව සීනි ආනයනකරුවන් අතරින් අදාළ කාලසීමාව තුළ පිරමීඩ් විල්මා ආයතනය පමණක් සීනි ආනයනය සියයට එක්දහස් දෙසීය විසි දෙකකින් (1222%) ඉහළ ගොස් ඇති බවත් අනෙකුත් සියලුම ආනයනකරුවන් ඍණ මට්ටමක පවතින බවත් විගණකාධිපති වාර්තාවේ හෙළි කර තිබිණි. මෙම බදු අඩුකිරීම හේතුවෙන් ආනයනික වෙළෙඳුන් වැඩි ආර්ථික වාසියක් අත්කරගෙන ඇති අතර සීනි බදු අඩුකිරීමේ වාසිය ජනතාවට ලැබී නොමැති බවද එම වාර්තාවේ සඳහන් විය. සීනි බදු අඩු කිරීමෙන් රජයට වූ පාඩුව රුපියල් මිලියන දහසය දහස් හත්සිය අටක් (16,708,000) ක් බව විගණන වාර්තාවේ සඳහන් විය.
මෙවැනි මහා පරිමාණ දූෂණ නිසා රටේ ආර්ථිකය දිනෙන් දින පිරිහෙමින් සාමාන්‍ය ජනතාවට මුහුණපාන්න සිදුවූ ආර්ථික දුෂ්කරතා ඉමහත්ය. සාමාජීය අවශ්‍යතා පිරිමසා ගැනීමට දිනෙන් දිනම මහජනතාවට අපහසු විය. අධ්‍යාපනය, සෞඛ්‍ය, ආහාර හා සමාජ සුභසාධනය සඳහා අවශ්‍ය පිරිවැය සොයා ගැනීමට රජය අපොහොසත් විය. කෙමෙන් කෙමෙන් මෙහි අයහපත් ප්‍රතිඵල ජනතාවට අත්විඳීමට සිදුවිය. එයින් ජනතාවට තම එදිනෙදා සාමාන්‍ය අවශ්‍යතාවයන් ඉෂ්ට කරගත නොහැකි වී ජන ජීවිතය අඩාල විය.
සීනි බද්ද අඩු කිරීම මගින් රජයට අහිමි වූ බදු ආදායම අදාළ පාර්ශවයන්ගෙන් නැවත අයකර ගත යුතු බව ජාතික විගණන කාර්යාලය රජයට නිර්දේශ කර තිබිණි. එවක රජයේ නියෝජිතයන් ඔවුන් සමග මේ පිළිබඳ
විමසීමේ දී ප්‍රකාශකර සිටියේ එවන් පාඩුවක් සිදුවී නොමැති බව යි.
එය ආදායම් අහිමිවීමක් නොව නොව එය රජයේ බදු “ප්‍රතිපත්තිය” බව එවක රජයේ දේශපාලන නියෝජිතයන් සඳහන් කර සිටියේ ය.මේ රජයේ ප්‍රතිපත්තියෙන් ජනතාවට කිසිදු සහනයක් නොලැබුණත් රජයේ ගජ මිතුරු සීනි ආනයනික සමාගම නම් ලාභ ලැබුවේය.
2020 වසරේ ඔක්තොබර් සිට 2021 වසරේ පෙබරවාරි දක්වා වූ මාස කිහිපය තුළ පමණක් මෙම ජාවාරම් පිළිබඳව චෝදනා ලබන පිරමිඩ් විල්මා ආයතනයේ සීනි ආනයනය 1,222%කින් අසාමාන්‍ය ලෙස ඉහළගොස් ඇති බව ජාතික විගණන කාර්යාලය සිය වාර්තාව මඟින් අනාවරණය කර තිබිණි.
බදු අඩුකළ කාලය තුළ විල්මා පුද්ගලින සමාගමේ සීනි ආනයනය සියයට 1222 කින් වැඩිවීම තුලින් එම සමාගමේ මාසික සීනි ආනයනය කිලෝග්‍රෑම් 27,823,989කි. එම පදනම මත මෙකී සමාගමට රුපියල් හැටදෙකෝටි විසිනමලක්ෂ විසිපන්දහස් අටසිය විස්සක (6,229,025,820) ක බදු වාසියක් බදු ගෙවන අවස්ථාවේ දී හිමිව තිබුණි. කෙසේවුවද සීනි ආනයනය කරනු ලැබූ වෙනත් කිසිදු සමාගමක් එම කාලය තුළ පෙර පැවති ආනයන ප්‍රමාණය සියයට 10 ඉක්මවා ආනයනය කර නොතිබුණි. ඒ විතරක් නොව පිරමිඩ් විල්මා පුද්ගලික සමාගම විසින් බන්දිත ගුදම් පහසුකම් යටතේ බදු නොගෙවා ආනයනය කරනු ලැබූ සීනි මෙටි්‍රක්ටොන් 7608ක් 2020 ඔක්තෝබර් මස 13 දින වනවිට එම බන්දිත ගුදමේ රඳවා තිබුණි. එම තොගයෙන් සීනි මෙටි්‍රක්ටොන් 7468ක් බදුඅඩුකළ දිනයේම සීනි කිලෝග්‍රෑම් 01ක් සඳහා ශත 25ක බද්දක් ගෙවා ගුදමෙන් ඉවත්කර ගැනීමට එම සමාගම කටයුතු කර තිබුණි.
සීනි සඳහා වූ බදු අඩු කිරීමෙන් රජය අපේක්ෂා කළ පාරිභෝගික සහන සැලසිමේ අරමුණ යටපත් වී ආනයනකරුවන් සහ වෙළෙඳුන් කිහිප දෙනෙකු පමණක් ආර්ථික වාසියක් උදාකරගෙන ඇතැ යි මේ කාරණා පිළිබඳ සලකා බැලීමේදී විගණන කාර්යාලය තවදුරටත් අනාවරණය කර ඇත.
එම කාලය තුළ බලපත්‍ර නොමැතිව ආනයනකරුවන් 18 දෙනකු සීනි මෙට්‍රක්ටොන් 101,527ක් ආනයනය කිරීමට කටයුතු කර තිබුණි. එහෙත් ආනයන බලපත්‍ර සඳහා පනවනු ලැබූ දඩමුදල සියයට 05 සිට 02 දක්වා අඩුකිරීමට ආනයන හා අපනයන පාලන ජනරාල් විසින් කටයුතු කරනු ලැබීය. දඩමුදල අඩුකිරීමට ආනයන හා අපනයන පාලන ජනරාල් වෙත බලතල නොමැති බව විගණන මගින් අනාවරණය කොට ඇත. මෙසේ දඩමුදල් අඩුකිරීම හේතුවෙන් රජයට ලැබිය යුතු රුපියල් හතළිස් තුන්කෝටි තිස්එක්ලක්ෂ විසිදහස් එකසිය හතළිස්හතක (433,120,147) ක ආදායමක් අහිමි වී තිබුණි. බදු අඩුකිරීමෙන් පසු විශාල වශයෙන් සීනි තොග ආනයනයනය කිරීමට ආනයනකරුවන් පෙලඹි තිබුණි. මේ නිසා ඩොලර් පිටරටවල්වලට ඇදියෑම වැළැක්වීමේ අරමුණින් සීනි ආනයනය පාලනය කිරීම සඳහා මෙකී බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කරනු ලැබීය. එහෙත් බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක වීමෙන් පසු මාසික සීනි ආනයනය මෙටි්‍රක්ටොන් 61,714ක් දක්වා වැඩිවිය. බලපත්ක්‍රමය ක්‍රියාත්මක වීමට පෙර මාසික සීනි ආනයනය මෙටි්‍රක්ටොන් 41,779ක් විය. මේ අනුව බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක වීමෙන් පසු මාසික සීනි ආනයනය සියයට 47කින් වැඩිවී තිබුණි. ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් සිය වෘත්තිය වගකීම් නිසි පරිදි ඉටුකර නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
විගණන කාර්යාලය නිර්දේශ කර ඇත්තේ සීනි සඳහා වූ බද්ද අඩු කිරීමට සාපේක්ෂව එම වාසිය පාරිභෝගිකයින්ට ලබා නොදී තමන් අත රඳවාගත් පාර්ශව නිසි පරිදි හඳුනාගෙන, එම ආර්ථික වාසිය ජනතාවට ලබාදීම පිළිබඳව අවධානය යොමු කිරීම හෝ, එසේ නොමැති නම් රජය කැපකළ බදු ආදායම තමන් වෙත රඳවාගත් පාර්ශවවලින් යළි රජයට ලබා ගැනිමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කිරීම වහාම කළයුතු බව යි. මෙවැනි අති දූෂිත කටයුතු නිසා
ඉන්ධන, ගෑස් , කිරිපිටි පෝලිම් මැද ශ්‍රී ලංකාවේ තවත් බරපතල අර්බුදකාරී තත්ත්වයක් ඒ වනවිට උද්ගතවී තිබිණි. ඒ අතර ඖෂධ හිඟය ප්‍රමුඛත්වයක් ගැනුණි. ඇත්තෙන්ම එය තවමත් යථා තත්ත්වයට පත්වී නොමැත.ඒ හිඟයෙන්ද ගසා කෑමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස තවත් පැත්තකින් සමත් විය. මේ ආකාරයෙන් දූෂණයෙන් දූෂණයට ඇති සම්බන්ධතාවය එකිනෙකට සම්බන්ධ වෙන්නේ දම්වැලක පුරුක් ආකාරයෙනි.
එතෙක් මෙතෙක් රජයෙන් කිසිදු ජනතාවගේ මුදල් ගසා කෑම් නවතා නොතිබුනද වත්මන් මුදල් නියෝජ්‍ය ඇමති රංජිත් සියඹලා පිටිය මේ මහා වංචාවට සුදුහුණුගාමින් කියා සිටින්නේ අදාළ සමාගම් වලින් මේ වන විටත් සැලකිය යුතු මුදලක් ආපසු අය කරගෙන ඇති බවයි. පවතින සෑම ආණ්ඩුවෙම ඇමතිවරයෙක් වන රංජිත් සියඹලාපිටිය පවසන ප්‍රකාශ කොතරම් අවංක සත්‍ය ප්‍රකාශ දැයි ජනතාව හොඳින් දනී.
සීනිබදු අඩු කිරීමෙන් රජයට අහිමි වූ ආදායම අදාළ පර්ශවවලින් අයකර ගතයුතු බවට විගණකාධිපතිවරයා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුයැ යි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කළේ ය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ නිවේදනයක් නිකුත් කරමින් 2022 වසරේදී පමණ ප්‍රකාශ කර තිබුනේ, 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ ස්වයං මැදිහත්වීමක් සිදුකිරීම සඳහා පවතින ප්‍රතිපාදන අනුව විගණකාධිපතිවරයා විසින් සීනි බදු සම්බන්ධයෙන් පවතින ගැටළුකාරී තත්ත්වය පිළිබඳව කරුණු ඇතුළත්ව ඉදිරිපත් වාර්තාව ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය අවධානය යොමුකර ඇති බව යි.
ඒ අනුව රාජ්‍ය බලය අයුතු සහ අත්තනෝමතික ලෙස භාවිතා කිරීම ඔස්සේ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආර්ථික, සමාජයීය, හා සංස්කෘතික අයිතිවාසිකම් උල්ලංඝනයවිමට ඉඩ ඇති බැවින්, රජය විගණකාධිපතිවරයා විසින් උක්ත කරුණ සම්බන්ධයෙන් ලබාදී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සිදුකළ යුතු බව මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරිය 2022 අප්‍රේල් මාසයේදී පමණ රජයට අවධාරණය කර සිටියා ය. නමුත් රජයේ ක්‍රියාත්මක වීමක් නම් සිදු නොවුණි.
කෙසේ වෙතත් 2020 වසරේදී ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩු කිරීමේදී රජයට රුපියල් කෝටි 1,590ක් පාඩු වූ බව පවසමින් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන වසරේ අප්‍රේල් මස 02 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන ලදී. ඒ මෙම පෙත්සම සැප්තැම්බර් (12) එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති විසින් 2021 වසරේ මාර්තු 12 වන දින මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා, පිරමිඩ් විල්මා සමාගම, එහි සභාපති සජාත් මවුසූන්, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ත දිසානායක සහ නීතිපති යන අය එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.
කිසිදු රජයකින් ඉටු නොවූ සාධාරණය අධිකරණයේ ස්වාධීන තීරණයක් මතින් හෝ ජනතාවට ඉටුවෙතැයි අපේක්ෂා කර සිටිමු !!!