Mon - 23 December 2024

ශ්‍රී ලාංකා රජයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ අනතුරු හැඟවීම් බීරි අලින්ට වීනා වැයීමක්ද?

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 57 වෙනි මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කරන ලද යෝජනාව සලකා බැලීමේදී එය පසුගිය සැසි කීපය පුරාම ඔවුන් විසින් ශ්‍රී ලංකාව වෙත ඉදිරිපත් කරන ලද පෙර යෝජනාවලම තවත් දිගුවකි. දිගින් දිගටම ශ්‍රී ලංකා රජය තම වගවීම් සහ මානව හිමිකම් සුරැකීමේ යාන්ත්‍රණය පිළිබඳව දක්වන උනන්දුව හා ප්‍රතිචාරය එන්න එන්නම පැහැර හරිමින් සිටින බවට පැහැදිලිවම පෙනී යන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේදී මෙවරත් දක්වා තිබේ.

ජනතාවගේ භාෂණයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රබල විදිහට සීමා කරන්න අණ පනත් ගෙනැවිත් තිබීම වගේම අතුරුදන්වූ පුද්ගලයින් ගැන කිසිම තොරතුරක් නැතුව ඒ පවුල්වල සාමාජිකයින්ට යුද්ධය අවසන් වී වසර ගණනාවක් ගතවූවත් තවම පැහැදිලි තොරතුරු දැන ගත නොහැකි වී ඇත. ඒ වගේම 2019 සිදුවුණු පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට තවමත් පිළිසරණක් නොලැබුණා වගේම එහි පරීක්ෂණ පිළිබඳව කිසිදු නීත්‍යානුකූල සාධාරණත්වයක් ඉටු වී නොතිබීම සඳහන් කළ හැක. ප්‍රජාතන්ත්‍රවාදයේ විශාල ඌනතා පවතින අවස්ථාවක, ජනතාවගේ අයිතිවාසිකම් මර්ධනය කරන පරිසරයක ජාතීන් අතර සුහදතාවය වර්ධනය කරන්නේ කෙසේද යන්න ප්‍රශ්න කල යුතු කාරණයක්.

එසේම රටේ ඇතිවූ ආර්ථික අර්බුදය වේවා වෙනත් මානව හිමිකම් ගැටළු වලට ප්‍රධාන හේතුව රටේ පවතින අවපාලනය බව පැහැදිලි වූ කාරණයක්. ඒ නිසා තමයි මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් පවතින්නේ.
මෙවර සැසියේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස්වරයා සිය කරුණු දැක්වීමේදී දැඩිව අවධාරණය කර සිටින්නේ ශ්‍රී ලංකාව තම යෝජනා පිළිබඳව මීට වඩා වග වීමෙන් යුතුව කටයුතු කළ යුතු බවයි. එය ශ්‍රී ලංකාව කෙරෙහි ඇඟිල්ල දිගු කිරීමක් නොව අත හිත දීමක් වශයෙන් සලකා පවතින ආර්ථික අර්බුදයෙන් හා හීන වෙමින් පවතින මානව හිමිකම් සුරක්ෂා කර ගැනීමට උපකාරී කර ගත යුතු බවයි.

රටේ ඇති වූ ආර්ථික අර්බුදය වේවා වෙනත් මානව හිමිකම් ගැටළු වලට ප්‍රධාන හේතුව වී තිබෙන රටේ පවතින අවපාලනය, එසේත් නැත්නම් ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය නිසා සත්‍යය, එකමුතුකම සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කොමිෂන් සභාවක් සඳහා රජය විසින් නීති කෙටුම්පතක් හඳුන්වා දුන්නද,එය විශ්වසනීය සත්‍ය සෙවීමේ ක්‍රියාවලියක් සඳහා පරිසරයක් නොපවතින බව පෙන්නුම් කරේ. වැඩිදුරටත් අවධාණය යොමු කිරීමේදී සිවිල් සමාජ නියෝජිතයන්, ජනමාධ්‍යවේදීන් සහ වින්දිතයන් මෙන්ම යුද්ධයෙන් විපතට පත්වූවන් සැමරීමේ උත්සව සංවිධානය කිරීමට සම්බන්ධ වූ පුද්ගලයන් ආරක්ෂක අංශ විසින් සෝදිසි කිරීම්, හිරිහැර කිරීම්, අත්අඩංගුවට ගැනීම් සහ වද හිංසාවට ලක් කිරීම් දිගින් දිගටම සිදුවන බවත් මාර්ග ගත සුරක්ෂිතතාවය පිළිබඳ පනත, සංශෝධිත ත්‍රස්ත විරෝධී කෙටුම්පත, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ සහ අධීක්ෂණ පනත් කෙටුම්පත ඇතුළු නව පනත් මගින් මහජතාවගේ භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් සීමා කිරීමට රජය ප්‍රයත්න දරන බවත් මේ හරහා ආරක්ෂක අංශ වලට ඒවාට මැදිහත් වීමට මග සලසන බවටද පෙනී යන ප්‍රධාන කරුණු අතර වේ. මෙවන් පසුබිමක් යටතේ දිගින් දිගටම මේ ආකාරයෙන් රජයේ කටයුතු කිරීම හා අනුග්‍රහය දැක්වීම නිසා අගතියට පත් පාර්ශවයන් සහ මානව හිමිකම් කඩවීම් වලට ලක් වූ පිරිස් වෙත තවදුරටත් සාධාරණයක් ඉටු වී නොමැති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මෙවර යෝජනාවේ අවධානයට ද යොමු වී ඇත.

ශ්‍රී ලංකාවේ දුප්පත් කම 2021 සිට 2023 දක්වා කාලය තුළ දෙගුණයකින් වැඩි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝකර් ටර්ක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය අමතමින් ප්‍රකාශ කර තිබේ.

වංචා හා දූෂණ අවසන් කිරීමටත් බලය අනිසි ලෙස භාවිත කිරීම නැවැත්වීමටත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ගෙන එන ලෙස ඉල්ලමින් ශ්‍රී ලාංකිකයන් පැවැත්වූ විරෝධතාවලට වසර දෙකක කාලයක් ඉක්මවී ඇති බවත් එහිදී සැබෑ වෙනසක් ලබාදෙන බව පාලකයන් පොරොන්දු වුවද අදටත් එම ඉල්ලීම් බොහොමයක් ඉටු කර තැනි බවත් මහ කොමසාරිස් වෝකර් ටර්ක් එහිදී තවදුරටත් පවසන ලදී.

විශේෂයෙන්ම 2021 සිට 2023 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ දුප්පත්කම දෙගුණවී ඇති බවත් ආහාර සහ සෞඛ්‍ය අතරින් එකක් තෝරා ගැනීමටත් අධ්‍යාපනය සහ බලශක්තිය අතරින් එකක් තෝරා ගැනීමටත් සිදුව ඇති පරිසරයක් නිර්මාණය වී ඇති අතර අසරණ වන පවුල් සංඛ්‍යාව දිනෙන් වැඩිවී ඇති බවත් ඔහු ප්‍රකාශය හරහා ඉදිරිපත් කර තිබේ.

විශේෂයෙන් 2019 වසරේදී සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන ද ලබා ඇත්තේ සීමා සහිත ප්‍රගතියක් බවත් එම ප්‍රහාරය වැළැක්වීමට අසමත් වූ යැයි චෝදනා ලැබ සිටින පුද්ගලයන්ට දිගටම ඉහළ තනතුරු ලැබෙමින් තිබෙන බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝකර් ටර්ක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිය අමතමින් ගෙනහැර දැක්වීය. මෙම යෝජනාවලිය කෙරෙහි අවධානය යොමු කිරීම ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාව අවධානයට ලක් කළ යුතු විශේෂ කරුණකි.

මේ සැසි වාරයේදී ගෙනහැර දැක්වූ කරුණු සම්බන්ධයෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකයන්ගේද විශේෂ අවධානය යොමු විය යුතු අතර ඔවුන් මේ පිළිබඳව ප්‍රගතිශීලී ප්‍රතිපත්තිමය කාරණා ජනතාවට ඉදිරිපත් කළ යුතු අතර එම කාරණා ඔවුන් සාක්ෂාත් කර ගන්නා ආකාරය තුළ ජාත්‍යන්තරය සමඟ ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කිරීම රඳා පවතිනු ඇත.

මෙවරද පසුගිය සැසිවාර කීපයකදී මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම යොමු කළ යෝජනාවලිය තරයේ ප්‍රතික්ෂේප කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ප්‍රගතිශීලී ක්‍රියාත්මක කිරීම් වල නියැලී සිටින බවත් මෙම ඉදිරිපත් කරන ලද යෝජනාවලිය සමුළුවේ බලතල ඉක්මවාලමින් සිදු කරන ලද ක්‍රියාවක් ලෙස ශ්‍රී ලංකාව කණගාටුවෙන් යුතුව පෙන්වා දෙන බවය.

Related Post