Mon - 23 December 2024

මහ පොළොව නුහුලන බාල ඖෂධ ජාවාරම…

කෙහෙලිය රඹුක්වැල්ල

ශ්‍රී ලංකාව තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග වල හිඟයක් මවාපාමින් හදිසි ඖෂධ මිලදී ගැනීම, බාල බෙහෙත් ආනයනය, එන්නත් විෂ වීම හේතුවෙන් නිරපරාදේ රෝගීන් මිය යාම නිසා වූ සිදුවීම් හා කාරණා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතළ අර්බුදයකට පත් කළේය. බාල, ප්‍රමිතියෙන් තොර හා හොර ඖෂධ හේතුවෙන් රෝගීන්ට වූ හානිය හෝ ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවීම් පිළිබඳව මෙතෙක් අසරණ රෝගීන්ට සාධාරණයක් ඉටුවී නැත.

මේ අතර ”අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකමුතුව” අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකරම්න් ඉල්ලා තිබුණේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ”ඉමියුනොග්ලොබීන්” නැමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කොට දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදාහැරීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අතරතුර සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂකවරුන් දෙදෙනකු ඇතුළු නිලධාරීන් සිව්දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුලින්ම අත්අඩංගුවට ගනු ලැබූහ. සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අංශය වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි. සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂකවරුන් වන වෛද්‍ය කපිල වික්‍රමනායක, දේවගාන්ති සොලමන්, ගණකාධිකාරී හිරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර යන අය එසේ අත්අඩංගුවට පත්වූහ. මොවුන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්  රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙරාතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ දීර්ඝ ප්‍රශ්න කිරීමට යොමුවූ අතර ඊට ඉහතදී ඔවුන්ට එරෙහිව ගුවන් ගමන් තහනමක්ද ලබාගෙන තිබිණ. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ජනක ඖෂධ ශ්‍රී ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට තිබියදී එහි සැපයුම්කරු මීට පෙර දිනකදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු සුගත් ජනක ප්‍රනාන්දු නැමැත්තකු වන අතර ”අයුසුලේට් බයෝටෙක් ෆාර්මා” සමාගමේ හිමිකරුය. එම පුද්ගලයා ඒ වන විටත් රිමාන්ඩ් භාරයේ පසුවූවේය.

ප්‍රමිතියෙන් තොර මානව ප්‍රතිදේහ හෙවත් ඉමියුනොග්ලොබීන් නැමැති ඖෂධ එන්නත් කුප්පි 22,500ක් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ල අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව රුපියල් මිලියන 130කට අධික මුදල් වංචාවක් සිදුකර ඇති බව අනාවරණය කොටගෙන ඇත.

අපේ රටේ ජනතාවට ඇල්වතුර හා විවිධ අපද්‍රව්‍ය මිශ්‍ර වූ එන්නත්කරණය මින් පෙරද සිදුවූ බව දැන් කෙමෙන් අනාවරණය වෙමින් ඇත. ඒ අසාදු ලේඛනගත කර ඇති සමාගම් අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් සමඟ සම්බන්ධතා පවත්වමින් දේශපාලකයන්ගේද ආශිර්වාද යටතේ තත්ත්වයෙන් බාල ඖෂධ හා වැරදි ප්‍රසම්පාදන ක්‍රියාවන්ට අනුව පසුගිය කාලය මුළුල්ලේම ක්‍රියාකර ඇති බවටය. ඒ පසුගිය විගණන වාර්තා සහ කෝප් වාර්තා මගින් විටින් විට පෙන්වා දී ඇති තත්ත්වයක් යටතේය. අදාළ සියලු සිදුවීම් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කොට මෙයට වගකිවයුතු නිලධාරීන්ද නීතිය හමුවට පැමිණවීමට කටයුතු කළ කළ යුතුය.

හාල්මැස්සන් නීතියේ රැහැණට හසුවෙද්දී තෝරු මෝරුන් පුළුවන් තරම් ඇඟ බේරගන්න සැලසුම් සකස් කරන ලදී. මේ කූඨ ජාවාරමට සෘජුව හා වක්‍රව සම්බන්ධතාවයක් පැවැති බවට අනාවරණය වෙමින් පැවැති කෙහෙලිය රඹුක්වැල්ල එවක  සෞඛ්‍ය අමාත්‍යවරයා නිර්දෝෂී යැයි  සුදුහුණු ගෑමට ආණ්ඩු පක්ෂය යුහුසුළුව කටයුතු කළේය. මුලින්ම ජනාධිපතිවරයා ඔහුගේ අමාත්‍යාංශය වෙනස් කොට බැලීය. ඒත් නොනවතින ජන විරෝධය හමුවේ කේලියට පැන යාමට නොහැකි විය. ඒත් ඔහුට එරෙහි විශ්වාස  භංගයෝජනා විවාදයේදී ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම හැසිරුණු ආකාරය කොතරම් ජන විරෝධී දැයි මහජනතාවට අවබෝධ විය. සියල්ලන්ටම ඇස්බැන්දුම් පාමින්  ගැලවී සිටීමට උත්සාහ කළද නීතියටත් කලින් හෘද සාක්ෂිය ඔහුට දඬුවම් දී ඇත. දැන් ඔහු උසාවි හමුවේ හඬා වැටෙන්නේ තමාට අධික විශාදිය හේතුවෙන් දිවි නසා ගැනීමට පවා අවදානමක් ඇති බවයි.

දීර්ඝ කාලීන දූෂණ වංචා හේතුවෙන් විනාශ වූ ආර්ථිකය  අවසානයේ පුපුරා ගියේ ගෝඨාභය දෑතේ වගේම අන්ත දූෂිත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආසන්නම පුපුරා යෑම සිදුවූයේ කෙහෙලියගේ දෑතේය.

නිලධාරින් පිටපටවා දෑත් පිසදා ගැනීමට කෙහෙලිය උත්සාහ කළද කෙහෙළියව රැක ගැනීම වගේම කෙහෙලිය ගෙන් පළිගැනීමද  රනිල් වික්‍රමසිංහගේ මනසේ ඇඳී තිබුණු බැවින් කෙහෙලිය මෙවර තාවකාලිකව හෝ කොටුවී ඇත. කෙහෙලිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පමණක් නොව ඊට පෙර සිටි සෞඛ්‍ය අමාත්‍යවරුන් වන මෛත්‍රිපාල සිරිසේන, රාජිත සේනාරත්න, නිමල් සිරිපාල සිල්වා, පවිත්‍රා දේවි වන්නිආරච්චි වැනි ඇමතිවරුන්ගේද කූට සම්බන්ධතා පිළිබඳ විවිධ තොරතුරු හෙළිදරව් වෙමින් පවතින අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපක්ෂපාති අවධානය ඒ වෙතද යොමු විය යුතුය.

ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් පසුගිය අප්‍රේල් 16 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය. එහිදී එම පෙත්සමෙහි වගඋත්තරකරුවන් 66 දෙනකු නම්කර ඇති අතර ප්‍රශ්නගත වෛද්‍ය සැපයුම්වලට සම්බන්ධ සමාගම් වන අයුසුලේට් බයොටෙක් ෆාර්මා (Isolez Biotech Pharma AG (Pvt) Ltd), ලයිව්එල්ත් බයෝ ෆාමාර් (Livealth BioPharma (Pvt) Ltd), යදීන් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම (Yaden International (Pvt) Ltd), ස්ලිම් ෆාමර්සූටිකල්ස් පුද්ගලික සමාගමේ (Slim Pharmaceuticals (Pvt) Ltd) නන්දනී මෙඩිකල් ලැබෝටරිස් පුද්ගලික සමාගම (Nandani Medical Laboratories (Pvt) Ltd), ඩිවයින් ලැබෝටරීස් (Divine Laboratories (Pvt) Ltd), ගල්ෆික් බයෝසෙන්ස් පුද්ගලික සමාගම (Gulfic Biosciences Limited) සහ නවචෙම් ලංකා පුද්ගලික සමාගම (Novachem Lanka (Pvt) Ltd) යන නම් එහි සඳහන්ය. යදීන් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම (Yaden International (Pvt) Ltd) සෂිමාල් දිසානායකට අයත් එකක් වන අතර එහි නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබන්නේ කටුනායකය. එමෙන්ම ස්ලිම් ෆාමර්සූටිකල්ස් පුද්ගලික සමාගමේ (Slim Pharmaceuticals (Pvt) Ltd) ප්‍රධානියා හා සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ සුමිත් ප්‍රේමරත්න නමැත්තෙකි. මෙරටට ඖෂධ සැපයූ සමාගම් අතර ඉන්දීය සමාගම්ද කිහිපයකි. එනම් නන්දනී මෙඩිකල් ලැබෝටරිස් පුද්ගලික සමාගම (Nandani Medical Laboratories (Pvt) Ltd), ඩිවයින් ලැබෝටරීස් (Divine Laboratories (Pvt) Ltd), ගල්ෆික් බයෝසෙන්ස් පුද්ගලික සමාගම (Gulfic Biosciences Limited) සහ නවචෙම් ලංකා පුද්ගලික සමාගම (Novachem Lanka (Pvt) Ltd) යන සමාගම්ය.ප්‍රශ්නගත ඖෂධ ජාවාරම සඳහා මේ සමාගම් වලින්  කිහිපයක ද සම්බන්ධතා පවතී.

අධිකරණමය කටයුත්තේදී එම සැපයුම්කරුගේ නීතිඥයා වරයා විසින් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රශ්න සහගත ඉමියුනොගොලොබියුන් නිසා මීට පෙරද රෝගීන් විසිහත් දෙනකුට ආසන්න පිරිසක් මියගොස් ඇති බවකි. ඔහුගේ එම ප්‍රකාශය බෙහෙවින් බරපතළ ප්‍රකාශයක් බැවින් ඒ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය ඔවුන්ගේ මතයද ප්‍රකාශ කළ යුතුය. මේ හේතුවෙන් මෙරට රෝහල් රැසකම එම එන්නත් ලබාදීම හේතුවෙන් ආසාත්මිකතාවන්ට හා රෝගීන් මරණයට පත්වීම සම්බන්ධව වාර්තා මේ දක්වා ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයද අපොහොසත් වී ඇති බව ද අවධානය යොමු කළ යුතු කරුණකි.

අධූරදර්ශී දේශපාලනඥයන්ගේ තීන්දු තීරණ සහ දූෂණ වංචා නිසා බංකොලොත් රාජ්‍යයක් බවට පත් වූ ශ්‍රී ලංකාවට  ආහාර , ඖෂධ, ඉන්ධන වැනි ජනතා අවශ්‍යතා ඉෂ්ට කිරීමට නොහැකි විය. අවසානයේ ඉන්දීය ක්‍රෙඩිට් ලයින් ඔස්සේ මෙරටට රැගෙන ආ ඖෂධ බොහෝමයක් තත්ත්වයෙන් බාල වූ හෙයින් මෙරට රෝගී ජනතාවට ඉන් පීඩාවිඳින බව බොහෝ සාක්ෂි සාධක සහිතව දැන් හෙළි වී ඇත. පසුගිය කාලයේ බාල අක්‍ෂි කාච හා ඇස්වලට දැමූ විවිධ ඖෂධ හේතුවෙන් රෝගීහු සදාකාලිකවම අන්ධ තත්ත්වයට පත්වූ අවස්ථාද එමටය. එමෙන්ම හදිසියේ ඇතිවූ උදරාබාධ තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත වූ කාන්තාවකට ලබාදුන් එන්නතක් හේතුවෙන් ඇයට මෙලෙව හැරයෑමට සිදුවන්නේද බාල බෙහෙත් හේතුවෙනි. ඉන්දියානු ණය පහසුකම යටතේ ඖෂධ ආනයනය කිරීමේදී දක්නට ලැබුණු අක්‍රමිකතා සහ නීතිය නොසලකා හැරීමේ ක්‍රියාවලියේ ප්‍රතිවිපාක අත්විඳින්නේ මෙරට අහිංසක සාමාන්‍ය ජනතාවමය. මෙරට ජනතාවට ඖෂධ වෙනුවට වතුර යොදා එන්නත් හදා එය රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධියේ සැකකරුවන් ලෙස හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල හා හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු එකොළොස් දෙනකු චෝදනා ලබා ඇතමෙක් තාමත් සිටින්නේ බන්ධනාගාරගතවය. එහෙත් මෙම ඖෂධ වංචාවට තවත් වගකිවයුත්තන් ද බොහෝ ඇත. අප කියන්නේ සහ හෙළි කිරීමට උත්සාහ කරන්නේ ද  ඔවුන්වත්  මේ මහා වංචාවට නීතියේ රැහැණට හසුකර දඬුවම් දිය යුතු බවය.

අහිංසක රෝගී ජනතාවට හිමි බෙහෙත් හේත්වලින් ගසා කමින් රෝගීන්ට ලබාදිය යුතු බෙහෙත් වෙනුවට තත්ත්වයෙන් බාල බෙහෙත් වර්ගත්  වතුර එහෙමත් නැත්නම් නොයෙක් අපද්‍රව්‍ය මිශ්‍ර ද්‍රාවණ හෝ ද්‍රව්‍ය අසරණ රෝගීන් වෙත ලබාදීම මහ පොළොව නුහුලන අපරාධයකි.

එය ශිෂ්ඨ සමාජයට පමණක් නොව මිනිසත්කමට පවා නිගා දෙවන දීන ක්‍රියාවකි.

නීතියේ දෙවඟනටත් වඩා ඉහලින් හෘද සාක්ෂිය සහ ස්වභාව ධර්මය නුදුරේම යුක්තිය විසඳනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

Related Post