2022 මැයි 09 වන දා පොහොට්ටුවේ මැර ප්‍රහාරයෙන් පසුව ඇති වූ ජනතා විරෝධය හේතුවෙන් ඒ වන විට මහින්ද රාජපක්ෂ අගමැතිධූරයෙන් ඉල්ලා අස්වී සිටි අතර 2022 මැයි 12 වන සවස පහට එළඹෙන සුභ මොහොතින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ නව අගමැතිවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම්දීමට නියමිතව තිබිණි. සරත් ෆොන්සේකා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර ඇති වූ දීර්ඝ සාකච්ඡාවකින් පසුව මේ රහසිගත එකඟතාවය ඇති විය.
මහින්ද රාජපක්ෂ මේ රහස දැන ගත් මොහොතේ සිය සොහොයුරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දුරකතන ඇමතුමක් ලබා දුන්නේය.ජනාධිපතිවරයාගේ නව අගමැති තීරණය සම්බන්ධයෙන් තමන්ට රනිල් වික්‍රමසිංහට කථා කිරීමට අවශ්‍ය බවත් පැවසීය. මහින්ද රාජපක්ෂ සිය සොහොයුරාගේ නව අගමැති තීරණය පිළිබඳ රහස රනිල් වික්‍රමසිංහට හෙළි කළේ ය. තව පැය දෙකකින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අගමැතිධූරයේ දිවුරුම් දෙන බවත් දැනුම් දුන්නේ ය.
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සමඟ යහපත් සම්බන්ධතාවයක් නොතිබුණු මහින්ද රාජපක්ෂ, සිය මිතුරා වූ රනිල් වික්‍රමසිංහට උපදෙස් දුන්නේ වහාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමතන ලෙසයි. ඔහුගේ උපදෙස් අනුව ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි ද මහින්ද රාජපක්ෂ කියා සිටියේ ය.
මේ මෙහෙයුමේ අවසාන ප්‍රතිඵලය වුයේ එදින සවස ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වෙනුවට රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයේ දිවුරුම්දීමය!
වසර 2009 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ වරදට සිරගත කරනු ලැබූ සරත් ෆොන්සේකා සහ රාජපක්ෂ පවුල අතර හොඳ සම්බන්ධයක් නැත. මහින්ද රාජපක්ෂ ප්රමුඛ රාජපක්ෂලා සරත් ෆොන්සේකා පිළිබඳව දැඩි භීතියකින් පසුවෙති. ඔහුට යම් බලයක් ලැබුණු පළමු මොහොතේ ම මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමෙන් පලිගනු ඇතැයි යන්න ඔවුන්ගේ තක්සේරුවයි.
එහෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව සරත් ෆොන්සේකා සහ ඔහු අතර යම් සම්බන්ධතාවයක් ගොඩ නැඟිනි. සරත් ෆොන්සේකා කිහිපවිටක්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුණ ගැසී සාකච්ඡා කළේ ය. දෙදෙනාම නයි මුගටි වෛරය අත්හැර දමා පෙර තිබූ මිතුදම ගොඩනඟා ගැනීමට උත්සාහ කළහ. එහෙත් මහින්ද රාජපක්ෂ, කිසිවිටෙක සරත් ෆොන්සේකාව විශ්වාස කළේ නැත. ඔහු නිතර සරත් ෆොන්සේකා ගැන බියෙන් සහ සැකයෙන් පසු විය.
පුරප්පාඩු වූ අගමැතිධූරය භාරගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ආරාධනා කළේ ය. ඔහුගේ ආර්ථික විශේෂඥයන් දෙදෙනා වන හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්නගේ උපදෙස වූයේ රටේ ආර්ථිකය ගිනිගොඩක පවතින බැවින් මේ මොහොතේ අගමැතිධූරය භාර නොගතයුතු බවය. ඒ අනුව සුළුතර ආණ්ඩුවක් පවත්වා ගත නොහැකි බව කියමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආරාධනය ප්‍රතික්ෂේප කළේ ය.
එහෙත් පැය දෙකක් ඇතුළත ක්‍රියාත්මක වූ මහින්ද රාජපක්ෂ පවුලේ මන්දිර කුමන්ත්රණයකින් පසුව ඒ අවස්ථාව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගෙන් උදුරා ගනු ලැබීය. මහින්ද රාජපක්ෂ පවුල තම විශ්වාසදායක ආරක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ තෝරා ගත්හ.
පසුගිය වසර දෙකක කාලය තුළ නාමල් රාජපක්ෂ ප්‍රසිද්ධියේ කිහිපවතාවක්ම කියා සිටියේ රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයට තෝරා ගනු ලැබුවේ රාජපක්ෂ පවුලේ සැලසුම අනුව බවයි.