රාජපක්ෂ යුගයේ සිදුකළ අනෙක් බොහෝ අපරාධ මෙන්ම ලසන්ත ඝාතනය ද හෙළිදරව්වීම වැළැක්වීමට යොදාගත් සුප්‍රසිද්ධ කඩතුරාව ජාතික ආරක්ෂාව යි. විමර්ශනවලදී ඉල්ලාසිටින තොරතුරු ලබාදීමෙන් ‘ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සංවේදී කාරණා හෙළිදරව්වීම’ හා ‘අදාළ පුද්ගලයන් නියැලී සිටින රාජකාරිවල ඇති අධි සංවේදීකම හේතුවෙන් තොරතුරු ලබාදීම ජාතික ආරක්ෂාවටත් ඔවුන්ගේ පුද්ගලික ආරක්ෂාවටත් තර්ජනයක් වීම’ අපරාධකාරයන් බේරාගැනීමේ නිල හේතුපාඨ විය.
නිදසුනකට, ලසන්ත ඝාතනයට පෙරදින ලසන්තගේ කාර්යාලය අවට දෙකකුත්, ඝාතනය සිදුවන දිනයේ ලසන්තගේ බිරිය වූ සොනාලි සමරසිංහගේ නිවෙස අසළ එකකුත් වශයෙන් ට්‍රිපොලි අනුඛණ්ඩයට අයත් බුද්ධි සාමාජිකයන්ගේ ජංගම දුරකතන ක්‍රියාත්මක වී තිබීමෙන් ‘එම අනුඛණ්ඩයේ සාමාජිකයන් මෙම ඝාතනයේ දී යම් දායකත්වයක් දරාඇතැයි නිරීක්ෂණය වී ඇති බැවින්’ අදාළ කාලය තුළ ට්‍රිපොලි අනුඛණ්ඩයේ රාජකාරි ජංගම දුරකතන භාවිතා කිරීම් සම්බන්ධ ලේඛනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටින විට, යුදහමුදාව කියන්නේ ඉහත හේතු නිසා ඒවා ලබාදිය නොහැකි බව යි.
මෙය තනිකරම ව්‍යාජ හේතුවක් බවත්, අපරාධකාරයන් බේරාගැනීමට කරන ප්‍රෝඩාවක් බවත් එළැඹි සිහියෙන් කල්පනා කර බලන කවරකුට වුව වැටහෙනු ඇත.
අපරාධය ආසන්නයේ ලසන්තගේ කාර්යාලය අවට හා සොනාලිගේ නිවස අසළ ගැවසුණු හමුදා සාමාජිකයන් තිදෙනා කවුරුන්දැයි රාජ්‍යයේම නිල අපරාධ විමර්ශන යාන්ත්‍රණයට දැනුම්දීමෙන් මේ කියන ‘ජාතික ආරක්ෂාවට’ සිදුවන තර්ජනය කුමක්ද? ඒවා ‘ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අධිසංවේදී කාරණා’ වන්නේ කෙසේද? ලසන්තගේ කාර්යාලය අසළ හා සොනාලිගේ ගේ අසළ කරක්ගැසීම ‘අධිසංවේදී රාජකාරිවල නියැලී සිටීමක්’ වන්නේ කෙසේද?
එසේනම්, ඒ කියන නිශ්චිත දිනවල ඒ කියන නිශ්චිත ප්‍රදේශයේ තිබූ ‘ජාතික ආරක්ෂාවට බලපාන අධිසංවේදී රාජකාරිය’ කුමක්දැයි ප්‍රසිද්ධියේ නොව අවම වශයෙන් රාජ්‍යයේ අපරාධ පරීක්ෂණ යාන්ත්‍රණයට නිලවශයෙන් දැනුම්දීමට බැරි ඇයි? හමුදා බුද්ධි අංශයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස නොමැතිනම්, එය රාජ්‍ය යාන්ත්‍රණයේ ඒ ඒ නිල හමුදා සහ පොලීසි අතර ඇති බරපතල අවිශ්වාසයක් හා අනවබෝධයක් නොවන්නේද?
රාජ්‍ය බුද්ධිසේවා අධ්‍යක්ෂවරයා වූ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ අතටම, හරියටම දින 17කට කලින් ප්‍රහාරකයන්ගේ නම් ද සමඟ ඔත්තුවක් ලබාදීත් වළක්වාගන්නට නොහැකි වූ පාස්කුදින ප්‍රහාරයත් සමඟ ගඟේ ගියේ, මේ අන්දමින් අහිංසක මිනිසුන් මරාදැමූ අපරාධකාරයන් හෙළිදරව් කිරීමේ දී තර්ජනයට ලක්වන්නේය යි කියමින් මිනීමරුවන් නීතියෙන් සඟවමින් රැකගත් ‘ජාතික ආරක්ෂාව’ නොවන්නේද?
ඇත්තටම මෙය ‘ජාතික ආරක්ෂාව’ පිළිබඳ ප්‍රශ්නයක් නොවන බවත්, සන්නද්ධ අංශ තුළ සිටින වඩාත් රහසිගත ලෙස මෙහෙයවිය හැකි ‘බුද්ධි අංශ’ නමින් හඳුන්වන බලසේනාවල තෝරාගත් කොටස් රාජ්‍යයේ ඉහළම බලය දරන්නන් විසින් බිහිසුණු අපරාධ සඳහා අතුරු හමුදාවක් ලෙස යොදාගැනීමක් බවත්, අවම වශයෙන් පාස්කු ප්‍රහාරයෙන් පසුව හෝ අප තේරුම්ගත යුතු ය.
පෝද්දල ජයන්ත.