Mon - 23 December 2024

රනිල් පසුපසට දක්කන වයස 78 ක් වූ එ.ජා.ප. අලියා

එක්සත් ජාතික පක්ෂය 1946 සැප්තැම්බර් 6 වන දින, බහුතර සිංහල ප‍්‍රජාවේ සහ සුළුතර දෙමළ හා මුස්ලිම් ප‍්‍රජාවන්ගේ දක්ෂිණාංශික ප‍්‍රභූ පක්ෂ 3ක් ඒකරාශි වීමෙන් ආරම්භ විය. මෙයට මූලිකත්වය ගනු ලැබුවේ නිදහස් සටනේ පෙරමුණ ගත් දොන් ස්ටීවන් සේනානායක යි.
වසර 1947 සිට 1956 දක්වාද, 1965 සිට 1970 දක්වා සහ 1977 සිට 1994 දක්වාද අනතුරුව 2015 ජනවාරි 8 සිට 2019 දක්වාද, ආණ්ඩු පක්ෂය ලෙස හෝ ආණ්ඩු පක්ෂ එකමුතුවක ප්‍රධාන කොටස් කරුවෙකු ලෙස හෝ රාජ්‍ය පාලනය සිදුකිරීමට එක්සත් ජාතික පක්ෂය ට හැකි විය.
මධ්‍යස්ථ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බව පෙන්නුම් කළද නව-ලිබරල් වාදී හා වෙ‍ෙළඳ පොළ විසින් මෙහෙයවෙන ආර්ථිකයකට නැඹුරු වූ බොහෝ ලක්ෂණ පෙන්වන එ. ජා. ප. ය කොන්සර්වේටිව්වාදී හා ආර්ථික ලිබරල්වාදී මතවාදයක් දරන දක්ෂිණාංශයට බර පක්ෂයකි.

1948 දී ශ‍්‍රී ලංකාව ඩොමීනියන්ත ත්ත්වයට පත් වූ අතර, ඞී. එස්. සේනානායක එහි පළමු අගමැතිවරයා විය.1952 දී ඩී. එස්. සේනානායක හදිසි අනතුරකින් මිය ගිය අතර, ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක අගමැති බවට පත්විය. මෙය පක්ෂයේ දැවැන්තයකු වු, වාමාංශික අදහස් දැරූ බෞද්ධ ජාතිකවාදියකු වන එස්. ඩබ්. ආර්.ඩී. බණ්ඩාරනායක පක්ෂය හැර යාමට හේතුවිය.1973 දී ඩඩ්ලි සේනානායගේ මරණයෙන් පසු ජේ. ආර්. ජයවර්ධන එ.ජා.පයේ නායකයා බවට පත් වූ අතර, බිම් මට්ටමේ සිට පක්ෂය නඟා සිටුවීම ආරම්භ කළේය.

එක්සත් පෙරමුණේ ආර්ථික ප‍්‍රතිපත්ති කෙරෙහි ඇති වූ මහජන අප‍්‍රසාදය හා 1971 ජනතා විමුක්ති පෙරමුණ මූලික වී ඇති වු මහජන කැරැල්ල කෲර ලෙස මර්ධනය කිරීම තුළ, 1977 දී එ.ජා. පක්ෂයට නැවත බලයට පත් වීමට හැකි විය. එය පාර්ලිමේන්තුවේ ආසන හයෙන් පහක් දිනා ගත්තේය. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණ ක‍්‍රමය තුළ ඇති වූ විශිෂ්ඨ ජයග‍්‍රහණයක් විය. ජයවර්ධන ආර්ථිකය විවෘත කොට රටේ සමස්ත ස්වරූපය විප්ලවීය ලෙස වෙනස් කළේය. ඔහු නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජය යන වචනය ප‍්‍රථම වරට භාවිත කරන ලදී. ජනාධිපති තනතුර විධායක බලතල සහිත එකක් බවට පත් කළේය. එසේම, 1978දී අගමැති තනතුරින් ජනාධිපති තනතුරට පත් විය. 1979දී ඔහු විවාදාත්මක ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ හඳුන්වා දුන්නේය. එය උතුරු පළාතේ දෙමළ බෙදුම්වාදී කණ්ඩායම්වල නීති විරෝධී සන්නද්ධ නැඟිටීම් වැළැක්වීම සඳහා කරන ලද්දක් වශයෙන් හඳුන්වා දුන්නද එතුළින් රජයට විරුද්ධ මත දරන විකල්ප අදහස් මර්ධනය සඳහා යොදාගන්නා බලවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී මානව හිමිකම් උල්ලංඝනය කරන පනතකි.

1988 දී ජේ. ආර්.ජයවර්ධන විශ‍්‍රාම ගත් අතර, රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ධූරයට පත්විය. ප්‍රේමදාස ඉන්දීය විරෝධී අදහස් සහිත පහළ පංතික නායකයෙකි. ඔහු විසින් ආරම්භ කළ බොහෝ නිවාස ව්‍යාපෘති සහ දිළිඳුකම තුරන් කිරීමේ ව්‍යාපෘති, යම් මට්ටමින් ඔහුගේ ජනප‍්‍රියත්වය ඉහළ නැංවීය. 1993 මැයි දින රැළියකට සහභාගී වෙමින් සිටි ප්‍රේමදාස එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන සෙබළෙකු විසින් ඝාතනය කෙරිණි. මේ කාලය වන විට අමානුශික ඝාතනහා දූෂණ චෝදනා හේතුවෙන් එ.ජා.පක්ෂයට විරුද්ධව මහජන පෙළගැස්මක් පැවතුණි. 1994 දී, වසර 17ක එ.ජා.ප පාලනය බිඳ දමමින් ශ‍්‍රී. ල. නි. පක්ෂය ජයග‍්‍රහණය කළේය. විපක්ෂයේ සිටිය දී බොහෝ එ.ජා.ප දැවැන්තයින් එල්.ටී.ටී.ඊ ය මගින් ඝාතනය කෙරිණි. මැතිවරණ රැළියකට සහභාගී වෙමින් සිටිය දී ඝාතනය වූ ජනාධිපති අපේක්ෂක ගාමිණි දිසානායක ඉන් එක් අයෙකි. මේ නිසා ශ‍්‍රී.ල.නි.ප ජනාධිපති අපේක්ෂිකා චන්ද්‍රිකා කුමාරතුංගගේ ජයග‍්‍රහණය පහසු එකක් විය. එ.ජා.ප. පක්ෂ නායකත්වය ජයවර්ධනගේ බෑණා කෙනෙකු වන රනිල් වික‍්‍රමසිංහට පැවරුණි. එක්සත් ජාතික පක්ෂය පසුපසට ගමන් කිරීම ආරම්භවූයේ එතැන් පටන්ය.

2001දී නිදහසෙන් පසු ලංකාව මුහුණ පෑ දරුණුතම ආර්ථික පරිහානියට මුහුණ දුන්නේය. විශ්වාසභංග යෝජනාවක් මගින් ශ‍්‍රී.ල.නි.ප ආණ්ඩුව බිඳ වැටීම නිසා චන්ද්‍රිකා කුමාරතුංගට කලින් මැතිවරණයක් පැවැත්වීමට සිදුවිය. 2001දී රටේ දිස්ත‍්‍රික්ක එකක් හැර අනෙක් සියල්ල ජයග‍්‍රහණය කරමින්, එල්.ටී.ටී.ඊ ය සමග සාම සාකච්ඡාවලට එළඹීමේ පදනමක් මත එ.ජා.පක්ෂය පහසුවෙන් ජයග‍්‍රහණය කළේය. දෙවන වරට ද වික‍්‍රමසිංහ අගමැති වූ අතර, නමුත්
එ.ජා.ප. රජයේ අවසානය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ 2004 මුල දී එක්සත් ජනතා නිදහස් සංධානය (UPFA) යූ.පී.එෆ්.ඒ ගොඩ නඟන ලදී. කුමාරතුංග 2004 පෙබරවාරි දී මනාව සැලසුම් කළ ප්‍රකාශයක් කරමින් පැය 24 ක් ඇතුළත ජාතික ඒකාබද්ධතාවය ආරක්ෂා කිරීම පිණිස පාර්ලිමේන්තුව විසුරුවා හැරියාය. අනතුරුව 2004 වසරේ අප්‍රේල් 2 පැවැති මැතිවරණයේ දී (UPFA) විසින් එක්සත් ජාතික පක්ෂය පරාජය කරන ලදී. නමුත් රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ රැඳිනි.

එක දිගට සිදුවූ මැතිවරණ පරාජයන් සමග එක්සත් ජාතික පක්ෂ නායකත්ව ධූරයෙන් නෙරපීමේ පීඩනයකට වික්‍රමසිංහ මුහුණ දී සිටියද, 2015 දී යලිත් වරක් ඔහු අග්‍රාමාත්‍ය ධූරයට පත්විය.
2015දි පැවති ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඔහුට මූලික සහාය ලබාදුන් එජාපයට ආණ්ඩු බලයත් අග්‍රාමාත්‍ය ධූරයත් ප්‍රදානය කරන ලදී

2015 අගෝස්තු 17 දින පැවැත්වූ අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ආසන 106ක් හිමිකරගත් අතර ලංකා ඉතිහාසයේ වැඩිම මනාප ගත් පුද්ගලයා ලෙස රනිල් වික්‍රමසිංහ මනාප ලක්ෂ පහක් ලබාගෙන ඉතිහාස ගත වුනි.ඊට ආසන්නම හේතුව වූයේ මහින්ද රාජපක්ෂ පිළිබඳව සුළුතර ජන කොටස්වල තිබූ අප්‍රසාදය හා ඔහුගේ පවුල් දේශපාලනය මෙන්ම ඔවුන් වෙත එල්ල වී තිබූ අධික වංචා දූෂණ චෝදනායි.

කෙසේ වුවද එසේ තිබියදීත් 2017 පෙබරවාරි මස 10 දින පැවති පලාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයකට පත්විය.

දූෂිතයන් නීතිය හමුවට ගෙන එනවා යැයි දුන් පොරොන්දු ඉටු නොකිරීම යහපාලනය යැයි කියමින් මහා බැංකු වංචාව වැනි චෝදනාවලට ලක්වීමත් රාජපක්ෂ පාලනයේ දූෂිතයන් රනිල් වික්‍රමසිංහ විසින් ආරක්ෂා කිරීමත් මෙම අන්ත පරාජයට හේතු විය.

මෙම සිද්ධියෙන් පසු නැවතත් නායකත්වය වෙනස් කලයුතු බවට පසුපෙළ මන්ත්‍රීවරුන් හා විශාල පිරිසකගේ හඬක් තිබූ අතර ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.එම විශ්වාසභංග යෝජනාව පරාජය කළ පසු පක්ෂයේ වෙනසක් කරන බවට නායකත්වය එනම් රනිල් වික්‍රමසිංහ දැනුම්දුන් නිසා එක්සත් ජාතික පක්ෂය තවමත් එක්සත් බව පෙන්වමින් ඔවුන් එක්ව විශ්වාසභංගය පරාජය කළ නමුත් පක්ෂයේ කල වෙනස එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දක්වා වෙනසක් නොවීය. එහිදී පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස අකිල විරාජ් කාරියවසම් පත්වුන අතර නවීන් දිසානායක පක්ෂයේ ජාතික සංවිධායක ලෙස පත් කරන ලදී.තවද පක්ෂයේ උපනායක ලෙස මහා බැංකු වංචාවට ඍජුව චෝදනා ලත් රවී කරුණානායක පත්වූ අතර ඊට දැඩි සේ විරුද්ධ වූ හිටපු ඇමති ජෝෂප් මයිකල් පෙරේරා මහතා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ද ඉල්ලා අස්විය. එ.ජා.ප. යේ මේ තනතුරු වෙනස්කම් සියල්ලම රනිල් වික්‍රමසිංහ පක්ෂයේ බලය රැක ගැනීම සඳහා සිදුකළ ව්‍යාජ වෙනස්කම් බව ඒවන විටත් එජාපයේ තරුණ කණ්ඩායම් හොඳින් හඳුනාගෙන තිබිණි. මෙසේ දිනෙන් දිනම රනිල්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බල තන්හාධික කටයුතු නිසා එ.ජා.ප.ය දෙදෙරා යමින් පැවතිණි.

2019 ජනාධිපතිවරණ පරාජයෙන් පසු 2020 වසරේදී එජාපයේ විශාල පිරිසක් සමඟි ජන බලවේගය ලෙස වෙනතකට යොමු විය. 2020 මහමැතිවරණයේදී එජාපය වෙත හිමිවූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමනක් වූ අතර එය ඉතිහාසයේ එජාපය ලැබු දරුණුතම පරාජය විය. එම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සදහා පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ දිවුරුම් දුන්නේය. 2022 වන විට ඇති වූ අර්බුද සහ ජනතා උද්ඝෝෂණ හමුවේ එවකට අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස් වූ අතර ඉන් පසු අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දුනි. ඒ අගමැති ධූරයේ 6 වන වරට ය. ඉන් පසු ඔහු 2022 වසරේ ජුලි 20 දින පාර්ලිමේන්තු ජන්දයෙන් මෙරට අට වැනි විධායක ජනාධිපති ලෙස පත් විය. ඒවන විටත් ඔහු ඡන්ද තිස්දාහකට ආසන්න ප්‍රමාණයක් පමණක් ලබාගෙන ජනතාව විසින් මහජන නියෝජිතයෙක් ලෙස පිළිනොගෙන ප්‍රතික්ෂේප කර තිබිණි. හැත්තෑඅට වසරක ඉතිහාසයක් හිම් එ.ජා.ප.යට කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ ඔහුගේ පුද්ගලික අරමුණ ඉෂ්ට කරගෙන තිබේ. සෘජුව තරඟ කර ජනාධිපති පුටුවට ළඟාවීමට නොහැකි වූ රනිල් වික්‍රමසිංහ දූෂිත ප්‍රජාතන්ත්‍ර විරෝධී හිතුවක්කාර දේශපාලනඥයෙකි. ඔහු දැන් සිදු කරන්නේ එක්සත් ජාතික පක්ෂ දැවැන්ත අලියා පසුපසට දක්කමින් ස්වාධීන යැයි කියාගත් ගෑස් සිලින්ඩරයක් ඉදිරියට ඇදගෙන ඒමයි.

රනිල් වික්‍රමසිංහ විසින් පසුපසට දක්කාගෙන යන අලියාට පෑගෙන එ.ජා.ප. පාක්ෂිකයොත් බාල ගෑස් සිලින්ඩර් තෝරාගෙන පසුගිය කාලයේ මෙන් ගෑස් සිලින්ඩර් පුපුරා යැමෙන් සිදුවන භයානක අනතුරින් පරිස්සම් වීමට මහජනතාවත් වග බලා ගත යුතුය.

– DD –

Related Post