Sun - 22 December 2024

ජනතා ජයග්‍රහණයක් කළ යුතු ශ්‍රී ලංකාවේ බිහි වූ නව පාලනය

ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැති දේශපාලන ගමන් මග වෙනස් කරමින් ජාතික ජන බලවේගයේ ජනාධිපති  අපේක්ෂක අනුර කුමාර දිසානායක මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව තිබේ.

මීට පෙර 2019 වසරේදී  පැවති ජනාධිපති වරණයේ දී  ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග වැද අනුර කුමාර දිසානායකට  ලබා ගැනීමට හැකි වූයේ, ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 3% කට ආසන්න ප්‍රතිශතයකි. එමෙන්ම පාර්ලිමේන්තුව තුළ ආසන 3ක් සහිතව වඩාත් සමාජවාදී නැඹුරුවක් සහිත පක්ෂයකින් තේරී පත්වූ මෙරට පළමු ජනාධිපතිවරයා වන්නේ ද අනුර කුමාර දිසානායකය.

1968 වසරේ නොවැම්බර් මස 24 වන දා ගලේවෙල ප්‍රදේශයේදී උපත ලද අනුර කුමාර දිසානායක කැලණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරියෙකි. වසර 24 කට අධික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දීර්ඝ පලපුරුද්දක් සහිත අත්දැකීම් බහුල කෘතහස්ථ දේශපාලනඥයකු වන ඔහු ජනතාව හමුවේ තම තේමා පාඨය ලෙසට දක්වා සිටියේ  “පොහොසත් රටක් –  ලස්සන ජීවිතයක්”යන ආකර්ෂණීය තේමා පාඨයයි.

ඒ අනුව තමා විසින් ජනතා පැතුම් මල් ඵල ගැන්වීමට නම් රටේ ආර්ථිකය නිවැරදි දිසාවකට යොමු කළ යුතුය. මේ වන විට රට පත්වී ඇති ආර්ථික අර්බුද හමුවේ දියත් කළ හැකි කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ඔහු සතුව ක්‍රියාශීලීව පැවතිය යුතුය. එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නැවත සාකච්ඡා කරන බව ද නව රජය සඳහන් කර ඇත. එසේම ප්‍රකාශනයේ නිදහසට බාධා වන වගන්ති ඉවත් කර 2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත සංශෝධනය කිරීම ද බිහි වූ නව රජයේ ප්‍රතිඥා අතර තිබේ. තව ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපනය කිරීම හා විධායක බලතල රහිත ජනාධිපතිවරයෙකු පත්කිරීමට ද ඔවුන් ප්‍රතිඥා දී ඇත. 2019 වසරේදී මෙරට සිදුවුණු පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුව අදාළ දේශපාලනඥයින් සහ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර තිබේ.

දේශපාලනඥයන් තම දේශපාලන වාසි සඳහා ජනාධිපතිවරණ මෙන්ම මහ මැතිවරණ වලදීද වඩාත් කැපී පෙනෙන සාධකයක් ලෙසට ජාතිවාදය පිළිබඳ සංකල්ප හා මතවාද උපයෝගී කරගෙන තිබුණි. බහු වාර්ගික ජනතාවක් ජීවත් වන ශ්‍රී ලංකාව වසර තිහකට අධික කාලයක් ජාතිවාදය මූලික කොට ගත් ත්‍රස්තවාදය නිසා බැටකා තිබුණි. ත්‍රස්තවාදය නිමා කොට රටට සාමය උදා වුවද දේශපාලනඥයන් ජාතිවාදය හවුලවාලමින් තම දේශපාලන ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කරමින් සිටියේය. මෙවර ජනාධිපතිවරණයේ තරමක් දුරට ජාතිවාදී සටන් පාඨ හෝ ජාතිවාදී හැලහැප්පවීම් ප්‍රයෝජනයට ගැනීම අවම වී තිබිණි. නමුදු දේශපාලන වශයෙන් ජාතිවාදය කෙතරම් තීරණාත්මක ද යන්න මෙවර මැතිවරණ ප්‍රතිඵල නිරීක්ෂණයේදීද පෙනී යන කරුණකි. කෙසේ වෙතත් ජාතික ජන බැලවේගයේ දේශපාලන පොරොන්දු  අතර කැපී පෙනෙන ප්‍රගතිශීලී මතවාදයක් වශයෙන් ජාතිවාදය ප්‍රතික්ෂේප කිරීම පෙන්වා දිය හැක.ජාතිවාදය උසි ගැන්වෙන, ජාතිවාදයට උඩගෙඩි දෙන, අනෙකා නොසලකා හරින, අනෙකාගේ අනන්‍යතාවට ගරු නොකරන, අනෙකාගේ අනන්‍යතාවන් හුදෙකලා කරන කවර හෝ ක්‍රියාමාර්ගයකට, කවර හෝ ප්‍රකාශයකට ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ ඉඩ නැතැයි,” ද ඔවුන් තරයේ අවධාරණය කර ඇත.

එසේම රටේ පැවති නීතිය ආධිපත්‍යය හෑල්ලුවට ලක්වීම හා නොසලකා හැරීම තුළින් අගතියට පත් වූ මෙන්ම අදටත් සාධාරණය ඉටු නොවූ දේශපාලන ඝාතන හා අපරාධ පිළිබඳව තම රජයක් තුළ ප්‍රමුඛතාවය ගෙන කටයුතු කරන බවට නව රජය පොරොන්දු වීම සාධාරණය යුක්තිය අපේක්ෂා කරන ජනතාවට යහපත් බලාපොරොත්තු දැල්වීමකි. බලයට පත්වූ පසුගිය රජයන් කීපයක් මෙන්ම එකී සාධාරණය පාපිස්ස යට සැඟවී යා නොදී යුක්තිය ඉටු කිරීමට සහාය දීම බලයට පත් වූ නව රජයේ යුතුකමකි. එසේම තදබල වගකීමකි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම යනාදිය කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ නොදිය යුතුය.

ඉතිහාසයේ අඩුම අමාත්‍ය මණ්ඩලයක් සහිතව ආරම්භ වූ නව පාලනය ජනතා බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ කරන යහපත් පාලනයක් බවට පත් කරගත යුතුය.

මේ වන විට රටේ ආර්ථිකයෙන්ද නීතියෙන්ද අධිකරණයෙන් හා දේශපාලනයෙන්ද බැට කමින් අනීතියෙන් හා බලය අයුතු ලෙස යොදවා ගැනීමෙන් දේශපාලනඥයන්ගෙන් හා නිලධාරීන්ගෙන් පීඩාවටත් හිංසාවටත් පත්වී ඇති ජනතාව තමන්ට සාධාරණයක්, සහනයක් ලැබෙතැයි මහත් බලාපොරොත්තු සහගතව නව රජය දෙස මෙන්ම අභිනව ජනාධිපතිවරයා දෙස ද බලා සිටි.

Related Post