Mon - 6 January 2025

තවමත් සුව නොවූ පාස්කු දින ප්‍රහාරයේ තුවාලය

2019 අප්‍රේල් 21, පාස්කු ඉරිදා දිනයේ දිවයිනේ ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ කොළඹ පිහිටි සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර ඉස්ලාමීය ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් සිදු විය. එම දිනයේම, දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයකද, දෙහිවල පිහිටි ලැගුම්හලකද සුළු පිපිරීම් සිදුවිය. මේ විදේශිකයන් 45 ක්, පොලිස් නිළධාරීන් 3 ක් සහ බෝම්බකරුවන් 8 දෙනාද ඇතුළුව පුද්ගලයින් 277 දෙනෙකු මෙහිදී මරණයට පත් වූ අතර 500 කට අධික ප්‍රමාණයක් තුවාළ ලැබීය.

මීගමුව, මඩකලපුව සහ කොළඹ පිහිටි පල්ලිවලට එල්ල කරන ලද ප්‍රහාර සිදු කර ඇත්තේ පාස්කු ඉරිදා දේවමෙහෙයන් අතර තුරය. ෂැන්ග්‍රි-ලා, සිනමන් ග්‍රෑන්ඩ්, කින්ග්ස්බරි සහ ට්‍රොපිකල් ඉන් යනු එදිනම එකම ප්‍රහාරක කණ්ඩායමේ ප්‍රහාරයට ලක් වූ හෝටල් ය. රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරුවලට අනුව දෙවන ප්‍රහාර මාලාවක්ද සැලසුම් කර තිබී ඇති නමුත් වාසනාවකට මෙන් එවැන්නක් සිදු නොවුණි. පාස්කු දින ප්‍රහාරය නිසා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් සාධාරණය ඉල්ලා දිගින් දිගටම උත්සාහ කළද එය සාර්ථක නිමාවක් සඳහා යොමු නොවුණි. පත් කළ ඇතැම් කොමිෂන් සභා හරහා මෙන්ම අධිකරණය හමුවේ සිදුවූ යුක්තිය පසදලීමේ ක්‍රියාවලිය වින්දිතයන් සෑහීමකට පත්වන තරමේ ක්‍රියාවලියක් දක්වා යොමු නොවුණි. රාජ්‍ය බලය ලබා ගැනීම වෙනුවෙන් විවිධ දේශපාලන පොරොන්දු වලට පමණක් සීමාවෙමින් පාස්කු දින ප්‍රහාරයේ සැබෑ මොලකරුවන් තවමත් නිදැල්ලේය.

මේ අතරතුර මෑතකදී හෙළිදරව් වූ සුවිශේෂීම කරුණක් වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලීම සඳහා පත්කළ කමිටු දෙක විසින්ම රාජ්‍යය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සහ රාජ්‍යය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වැරදි කරුවන් බවට පත් කොට තිබුණු අතර අදාල ප්‍රහාරය එල්ල කිරීම සඳහා සහරාන් ඇතුළු කණ්ඩායමට අවශ්‍යය පහසුකම් සැලසීමට රාජ්‍යය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ, පිල්ලයාන්ගේ මාධ්‍යය ලේකම් ලෙස කටයුතු කරනු ලැබූ අසාද් මවුලානා සමග එකතු වී කටයුතු කර ඇති බවත් එම දෙදෙනා පුත්තලමේ පොල් වත්තක දී හමු වී ඇති බවත් ඔප්පු වී තිබේ. ඊට අමතරව සලේ, ජමීල් සමග පැවැත් වූ දිගුකාලීන රහසිගත සම්බන්ධය සහ ඊට අදාල දුරකථන වාර්තා රැසක් මෙම කමිටුව විසින් සොයාගෙන තිබෙන අතර ටාජ් සමුද්‍රා හෝටලයෙන් පැනයන ජමිල්ගේ දුරකථනයට එදින කතා කොට ඇත්තේ සුරේෂ් සලේ බව සිදුකළ විමර්ෂණ වලින් තහවුරු වී තිබේ.

නමුත් එම ඇමතුම ලැබී ඇත්තේ දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් මුහුදු තීරයට ආසන්න ප්‍රදේශයකිනි. මෙම තොරතුරු අතිශය සාහසික ප්‍රහාරයක සුල මුල දත්ත වාර්තා සහිතව ඔප්පුකොට ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු මාධ්‍ය වෙතද ප්‍රකාශ කර ඇත. නමුත් එම වාර්තා මේ වන විට අතුරුදහන් වී අස්ථානගත වී ඇත.මෙසේ අතුරුදහන් වී ඇති එක් වාර්තාවක් වූයේ පාස්කු ප්‍රහාරය චැනල් 4 නාලිකාවේ වාර්තා චිත්‍රපටය විසින් හෙළිදරව් කරනු ලැබූ කරුණු වල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම සඳහා පත්කළ කමිටු වාර්තාවයි. දෙවැනි වාර්තාව වන්නේ පාස්කු ප්‍රහාරය ගැන නිවැරදි බුද්ධි තොරතුරු ලබා දුන්නේ ද?, එසේ ලබා දී තිබුනේ නම් අවශ්‍යය පියවර ගැනීමට අසමත් වූ ආයතන මොනවාද? යන්න සොයා බැලීමට හිටපු විනිසුරු අල්විස් මහත්මියගේ නායකත්වයෙන් යුතුව පත්කළ කමිටුව විසින් නිකුත් කළ වාර්තාවයි.

මෙම වාර්තා දෙකම පාස්කු ප්‍රහාරය ගැන සත්‍යය දැනගැනීමටත්, යුක්තිය පසිඳලීමටත් අත්‍යවශ්‍යය තොරතුරු සහිත වාර්තා වේ. එහෙත් මේ වන විට අතුරුදහන් කර ඇති මෙම වාර්තා සොයා ගැනීමට මැදිහත් වී ඒවා මහජනයා වෙත ලබාදීමටත් එමෙන්ම පාස්කු දා ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූවන්ට යුක්තිය ලබාදීම සඳහා කටයුතු කිරීමට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක වහාම පියවර ගත යුතුය.

පාස්කු ප්‍රහාර මාලාවට හසු වු බොහෝ පිරිසක් මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර තවත් බොහෝ දෙනෙකු සදාකාලිකව ආබාධිත වී සිටිති. පාස්කු දින බෝම්බ ප්‍රහාර මාලාවෙන් මිය ගිය වැඩිම පිරිස කටුවාපිටිය දේවස්ථානේ සිටි බැතිමතුන් වන අතර මඩකලපුව සියෝන් දේවස්ථානයට එල්ල කෙරුණු ප්‍රහාරයෙන් මිය ගිය බහුතරය කුඩා දරුවන්ය. මෙම අතිඅමානුෂීය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට හසුවූ බොහෝ දෙනකු මරණයට පත් වූ අතර තවත් සමහරු තුවාල ලබා සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වී ඇත. එසේම මෙම ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස තවමත් තම හිතෛෂීයයන් දූ දරුවන් අඹු සැමියන් අහිමිවීමේ හෝ වින්දිතයන් බවට පත්වීමේ ශෝකයෙන් මැරි මැරි උපදිමින් බොහෝ පිරිසක් අපි අතර සිටිමින් ඒ වේදනාවේ සාක්ෂිකාරයෝ විදියට ජිවත වෙමින් යුක්තිය අපේක්ෂාවෙන් සිටිති.

2019 පාස්කු දා ප්‍රහාරය පිළිබඳව සාධාරණය අපේක්ෂා කරන හැමදෙනාම පවසා සිටින්නේ “මේක කරපු උන්ට දඬුවම් දෙනකම් මැරුණු මිනිස්සුන්ටවත්, වේදනාව විදින අපිටවත්, අපේ සාපය වඳින ඉහල පුටුවල ඉන්න උන්ටවත් ගැලවීමක් නැහැ. අපි මේ පය ගහගෙන ඉන්නෙ ලෙයින් තෙත් වෙච්චි භූමියක. ඒ හැළුණු ලේවලට වගකියන්න ඕනෙ අය අනිවාර්යෙන් ඒ වන්දිය ගෙවන්නම ඕනෙ. ඒ දවස එනකල් අපි බලාගෙන ඉන්නවා” යනුවෙනි.

තවමත් සුව නොවූ පාස්කු දා ප්‍රහාරයේ වේදනාව යම් තරමක හෝ සමනය කිරීම වෙනුවෙන් වින්දිතයන් වෙනුවෙන් සාධාරණ විමර්ශනයකට ඉඩ කඩ සලසා සැඟවී සිටින මෙම ම්ලේච්ච ප්‍රහාරයට වගකිවයුත්තෝ නීතිය හමුවට ඉදිරිපත් කර දී සාධාරණයක් ඉටු කර දීමට නව ජනාධිපතිවරයා හෝ මැදිහත් වෙතැයි අවසාන වශයෙනුත් ඔවුහු බලාපොරොත්තුවෙන් සිටිති.

Related Post