Mon - 23 December 2024

උදා වූයේ ප්‍රභූතන්ත්‍ර දේශපාලනයේ අවසානයද?

සැප්තැම්බර් 25 වැනි දින online දිවයින පුවත්පතේ බදාදා ලියවිල්ල මෙවර සකස් කර තිබුණේ ප්‍රභූ තන්ත්‍රය ලද ඛේදජනක පරාජය නම් අවධානයට බඳුන් විය යුතු ලිපියකිනි.

නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ පාලනය බොහෝ විට දෝලනය වූයේ ප්‍රභූ පන්තිය අතර බව පැහැදිලියි. විප්ලවවාදී තරුණයන් සහ බොහෝ විට සමාජයේ සාමාන්‍ය පාන්තිකයන් තමාගේ පොදු සතුරා ලෙස සමාජ මට්ටමෙන් ඉහළ තත්ත්වයක ජීවත් වූ ප්‍රභූන් යැයි හඳුන්වා දෙන සමාජ තන්ත්‍රය කෙරේ දැක්වූයේ නුරුස්සන හුදෙක්ම තමන් නියෝජනය කරන සමාජස්තරය පෙළා දමන කොට්ඨාශයක් වශයෙනි. එසේම අධිරාජ්‍යවාදීන් ටත් වඩා නුරුස්සන ස්වභාවයක් මේ සමාජ විස්තරය කෙරේ ඔවුන් සතුව පැවති අතර එම සමාජ ස්තරය බිඳහිලීම සඳහා අරගලකාරීව හා සන්නද්ධව ද හැසිරුණු අවස්ථා තිබිණි. රණසිංහ ප්‍රේමදාස ජනයන්ධිපතිවරයා වීමේදී මෙම සමාජ ස්ථරය පිළිබඳ තත්ත්වය වඩාත් ඔහුට බලපෑ අතර එය ජයගෙන තම ඉලක්කය කරා යාමට ඔහුට හැකි විය. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය දෙදරා යාම ආරම්භ වූ හා ඒ නිසා ඇති වූ තත්ත්වයන් පිළිබඳව විග්‍රහ කිරීම වෙනම සාකච්ඡා කළ යුතු කාරණාවකි.

කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා බවට පත් වූ අනුර කුමාර දිසානායක නියෝජනය කරන්නේ දේශපාලන ව්‍යාපාරයක් සතු බලවේගයක් වශයෙන් සලකා පුද්ගලවාදයෙන් බැහැරව සාමූහිකයක් වශයෙන් පෙනී සිටීමට උත්සාහ කළහොත් සමාජයේ පරිවර්තනයක් උදා වී ප්‍රභූ තන්ත්‍රය යැයි සම්මත පිරිස සතු කරගෙන ඔවුන් ගොඩනගාගෙන තිබූ සමාජ මට්ටම කඩාබිඳ දැමිය හැකි අතර අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගයටත් වඩා තීරණාත්මක සාධකය ලෙස ප්‍රවර්ධනය කිරීමෙන් සිදුවන්නේ මෙවර ජනාධිපතිවරණයෙන් උදා කරගත හැකි වේ යැයි බලාපොරොත්තු වූ ජනතා අපේක්ෂාව විනාශ වී අනුර කුමාරටත් සිදුවන්නේ ප්‍රභූ දේශපාලනය ක්‍රියාකලාපයටම ඉබේටම තල්ලුවී එහිම ගොදුරක් බවට පත්වීමටය.

ඒ නිසා පාඨකයාගේ අවධානය බදාදා ලියවිල්ලෙන් මතු කරන ප්‍රභූ තන්ත්‍රය බිඳ වැටීම පිළිබඳව විචාරශීලීව අවධානය යොමු කිරීම සඳහා පහත උපුටා දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක දිවුරුම්දීම පන්සත්තෑ වසරක් ඉක්මවූ මෙරටේ දේශපාලන ඉතිහාසයේ සුවිශිෂ්ට විජයග්‍රහණයක් පමණක් නොව නිදහසින් පසු රාජ්‍ය බලය හිමි කරගත් ප්‍රභූතන්ත්‍රය ලද ඛේදජනක පරාජයක් ද වේ. සාම්ප්‍රදායික වැඩවසම් ප්‍රභූ තන්ත්‍රවාදී කොළඹ කේන්ද්‍රීය දේශපාලන අධිරාජ්‍යය බිඳහෙළීමට තඹුත්තේගම පිටිසර ගමකින් පැමිණි අනුර කුමාර සමත්වීම වරප්‍රසාද පන්තිය ලද අමිහිරි අත්දැකීමක් ද වේ. අනුර කුමාර ඒ යුගකාරක දේශපාලන පරිවර්තනයක නිර්ප්‍රභූ පොදුජන සංකේතය ද වේ. නිදහස් ලංකාවේ (1948 න් පසු) දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේ ප්‍රථම බිඳවැටීම සිදුවූයේ 1956 දීය. මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් එය හඳුන්වන ලද්දේ “බමුණු කුලයේ බිඳවැටීම” ලෙසය. ඉනික්බිතව හැටඅට වසරක ඇවෑමෙන් යළිත් අප එළැඹ සිටින්නේ පනස්හයේ ජයග්‍රහණය ද සමනික්‍රමණය කළ සමාජ – දේශපාලන – සංස්කෘතික පුනරුද යුගයක සමාරම්භක නිමේෂයකටය. ප්‍රජාතන්ත්‍රවාදයේ හා නිදහසේ නව යුගයක ප්‍රාර්ථනා දොරටුව අසලටය. ඒ වූ කලී, එක් අතකින් වරප්‍රසාද සහිත ප්‍රභූතන්ත්‍රවාදී අධිපතිවාදීන් විසින් නිර්ප්‍රභූ ජනතාවට ලූ යදම් බිඳීමේ අභියෝගයක් ද වේ. අභිනව ජනාධිපති අනුර කුමාර ඒ අභියෝගය උරමත දරා සිටියි. ඒ වෙනුවෙන් පුරන ලද දේශපාලන පාරමිතාවන් සපුරා ගත් ඔවුන් දෙස දැන් මුළු මහත් ජනතාවම බලා සිටිති.

අනුර කුමාර යනු, ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරයේත් සංස්කෘතික ආධ්‍යාත්මයේත් උල්පත්වලින් සුපුෂ්පිත අනුරාධපුරයේ, තඹුත්තේගම නම්වූ ගම් දනව්වක හැදී වැඩෙමින් අප්‍රමාණ දුක්ඛසෙයියා, දුර්බෝජන ඉවසමින් ඉන් ලද පන්නරයෙන් පිබිදුණු තාරුණ්‍යය ඔස්සේ දේශපාලනයට අවතීර්ණ වූවෙකි. දුගී භාවය නිදන් ගත රෝගයක් නොව පන්ති සහිත සමාජයක සූරාකෑමේ දුෂ්ට ඵලයක් බව ඔහුට පසක් වූයේ ද ඒ ළමා වියෙහිදීමය. මැක්සිම් ගොර්කි කීවාක් මෙන් අනුර ද ළමාවිය අහිමි වූ ළමයෙකි. ළමාවියෙන් යොවුන්වියට පා තබන විටත් අනුරගේ මනස තුළ වූ එකම ප්‍රශ්නය වූයේ “දුප්පත් වීමේ හේතුව කුමක්ද” යන්නය. ගෝර්කිගේ අම්මා නවකතාව කියවද්දී ඔහුට හැඟුණේ පාවෙල් (නවකතාවේ එන චරිතයකි.) මෙන් දුකට හේතු සොයා සමාජය දැනුවත් කළ යුතු බවය. උසස් පෙළ නිමවා විශ්වවිද්‍යාලයට ඇතළුවන විටත් ඔහු ඒ වනවිට තරුණයන්ගේ ආකර්ෂණයට ලක්වූ ජ.වි.පෙ. දේශපාලනය සමග එක්වී සිටියේය. උපාධිධාරියකු ලෙස කැලණි සරසවියෙන් පිටවන අනුර කුමාර නොබෝ කලකින්ම ජ.වි.පෙ. ක්‍රියාකාරිකයකු ද පසුව පූර්ණ කාලීනයකු ද වෙයි.

අනුර කුමාරගේ දේශපාලන ජීවිතය එම පක්ෂයේ (ජ.වි.පෙ.) නිර්මාතෘ රෝහණ විජේවීරගේ ජීවිතයට වඩා වෙනස් ලක්ෂණ සහිතව ඉදිරියට ගලා ගියේ ජවිපෙ විසින් මහුණ දෙන ලද අසාර්ථක කැරලි දෙක නිසා බව අපගේ අදහසය. 1965 දී පමණ උපත ලබන ජ.වි.පෙ. ආරම්භයේ සිටම මෙරටේ සම්භාවිත වාමාංශික ව්‍යාපාර සමග එකඟතාවක නොවීය. අසූවේ (1980) වර්ජනයට එරෙහිවූ රෝහණ විජේවීරට ප්‍රබල දේශපාලන විවේචන එල්ල වූයේ ඔහු ද්‍රෝහියකු හා හොරිකඩයකු ලෙස හඳුන්වමිනි (විජේවීර වර්ජකයන්ට එරෙහිව කොළඹ හයික් පිටියේදී රැලියක් ද සංවිධානය කර තිබුණි). ඒ කුමක් වුවත් පසුව විජේවීර, ජයවර්ධන හා ප්‍රේමදාස පාලන යුගවල ඔවුන්ගේ ද නිර්දය දේශපාලන ප්‍රතිචාරවලට ලක්වී අවසානයේදී 1989 නොවැම්බර් 13 වැනිදා ඝාතනයට ද ලක්විණි. මේ සියල්ල ජ.වි.පෙ. විප්ලවීය මගින් ඈත් කරලීමට හේතු වූ බව කල්පනා කළ හැකිය. එසේම විප්ලවකාරී ජ.වි.පෙ. නිර්මාතෘ රෝහණ විජේවීර 1982 ජනාධිපතිවරණයට තරග කළ බවද සඳහන් කළ යුතුය. එම ජනාධිපතිවරණයේදී ජේ.ආර්. ජයවර්ධන ජයගත් අතර දෙවැනි ස්ථානය ලැබුණේ හෙක්ටර් කොබ්බෑකඩුවටය. තුන්වැනි ස්ථානය ලබාගත් රෝහණ විජේවීර වමේ අපේක්ෂකයන් වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා (ල.ස.ස.ප.) හා වාසුදේව නානායක්කාර (න.ස.ස.ප.)ට වඩා ඡන්ද ලබා ගැනීම ද විශේෂත්වයකි.

1990 දී ජ.වි.පෙ. නායකත්වයට පත්වූ සෝමවංශ අමරසිංහ 2014 වනතුරු එහි නායකයා ලෙස පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී මාවතට වඩාත් යොමු කළ බව පෙනේ. අනුර කුමාරගේ දේශපාලනය ඒ වන විටත් අත්දැකීම්වලින් මෙන්ම දැනුමෙන් ද පරිපාකයට පත් වෙමින් තිබුණි. පාර්ලිමේන්තු සම්ප්‍රදාය මෙන්ම මෙරටේ සංස්ථාපිත දේශපාලන පක්ෂ කෙරෙහි අලුත් කියැවීමකට ඔහු යොමු වන්නේ ද ඒ පසුබිම තුළය. 2014 ජ.වි.පෙ. නායකත්වයට වඩාත් යෝග්‍යම චරිතය වූයේ ද අනුරය. සෝමවංශ අමරසිංහ ඒ සඳහා සිය නායක භූමිකාව අනුරට පවරා දීම නිසැකයෙන්ම හොඳ දේශපාලන තීන්දුවකි. අනුරට පවතින දේශපාලනය පිළිබඳ විවේචනයක් තිබුණත් ඔහු ශ්‍රීල.නි.ප.ය ප්‍රමුඛ වමේ කඳවුරට වඩාත් සමීප විය. විශේෂයෙන් ජයවර්ධන හා ප්‍රේමදාස යුගවල පරිහානිය කරා ඇදෙමින් තිබුණු දේශපාලනය වෙනස් කිරීමේ වඩාත් සම්භාවිතාවක් තිබුණේ ඒ සන්ධාන දේශපාලනයට බව ඔහුට පෙනුණි. චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුවේ ඇමති ධුර කීපයක් ලබා ගැනීමටත් පාර්ලිමේන්තුවේ වැඩිපුර නියෝජනයක් ලබා ගැනීමටත් අනුර කුමාර ක්‍රියා කරන්නේ ද ඒ පසුබිම තුළය. පසුව නිල වසයෙන් නොවන සහයෝගි දේශපාලනයක ද ඔහු නිරතව සිටියේය.

කෙසේ වුවද චන්ද්‍රිකා ආණ්ඩුව සමග ප්‍රතිපත්තිමය ගැටුම් ද අනුරගේ කණ්ඩායමට තිබුණි. චන්ද්‍රිකාගේ සුනාමි සහන මණ්ඩලයට එරෙහිව ඔවුහු එදා (2015) ආණ්ඩුවෙන් එළියට පැමිණියහ. චන්ද්‍රිකා, මහින්ද මෙන්ම මෛත්‍රිපාල යන ජනාධිපති කාලවල අනුර කුමාරගේ භූමිකාව වමේ කටහඬ බවට පෙරළෙමින් ද තිබුණි. හේතුව ඒ හැම පාලනයක් සමගම ඇතිවූ ප්‍රතිපත්තිමය ගැටුම්ය. 2019 දී ජ.වි.පෙ. දේශපාලනය ඉදිරියට ගෙන යෑමට ඔහු විසින් කරන ලද දේශපාලන මැදිහත්වීම නිසා ජාතික ජන බලවේගය ද බිහිවිය. 2019 දී ඔහු එය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ද ඉදිරිපත් විය. එහිදී ඔහුට හිමි වූයේ තෙවැනි ස්ථානයයි. ලැබුණු ඡන්ද ප්‍රතිශතය සියයට තුනකි (3%).

Related Post