Sun - 22 December 2024

පාස්කු කමිටු වාර්තා එළියට ගේන්න දැඟලිම ගම්මන්පිලගේ ඡන්ද ගුණ්ඩුවක්ද?

උදය ගම්මන්පිල

සිංහල බෞද්ධ තේමාව යටතේ “සිහළ උරුමය” නමින් සිංහල දේශපාලන පක්ෂයක් ආරම්භ කළ අවස්ථාවේ උදය ගම්මන්පිල එහි සමාරම්භක සමාජිකයෙක් ලෙසත් 2001 වසරේදී එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් ධූරයටත් පත්වන උදය ගම්මන්පිල පසුව එහි නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ධූරයට පත් වී 2004 දී භික්ෂුන් වහන්සේලාගේ ආගමනයත් සමඟ පක්ෂයේ නම ජාතික හෙළ උරුමය ලෙස වෙනස් වීමෙන් පසුවද එහි ආරම්භක පරිපාලන ලේකම්වරයා හා නීති උපදේශකවරයා වශයෙන් කටයුතු කරමින් තම දේශපාලන ගමන ආරම්භ කර 2009 පළාත් සභා මන්ත්‍රී ධූරයේ සිට රටේ වගකිවයුතු ඇමතිධූර සහ කැබිනට් ඇමති තනතුරු දක්වාම දේශපාලන ගමනක් ගිය පුද්ගලයෙකි.

රුපියල් සීය බැගින් එකතුකර තම දේශපාලන ගමන ගොඩනඟා ගත් ගම්මන්පිල මහින්ද සුළඟ වැනි දේශපාලන කැම්පේන්වලිනුත් 2019 ජනාධිපතිවරණ සටනේ ඉදිරිපෙල නායකයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය දායකත්වය මුල සිටම ලබා දෙමින් ගෝඨාභය රාජපක්ෂ ව ක්‍රියාකාරි දේශපාලනයට රැගෙන ඒමටද මුල්වු අයෙක් ලෙස සැලකෙයි. මේ කුමන ආකාරයෙන් වුවත් ප්‍රභල ඡන්ද පදනමක් නොමැති ඔහුගේ පක්ෂය බලය ලබා ගැනීම පිළිබඳව පැහැදිලි ජයග්‍රහණයක් පෙනෙන නායකත්වයකට හේත්තු වී තම දේශපාලන ගමන ස්ථාවර කරගැනීමට උපන් හපෙනෙකි. ඒ සඳහා ඔහු අපූරුවට කාලීන සමාජ කතිකාවන්ද තම භූමිකාව මෙහෙයවීම සඳහා යොදා ගනී. මෙවර ඔහු යොදා ගෙන ඇති කතාබහට ලක්වන තේමාව වන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් තමා සතු වාර්තා ආණ්ඩු­වට ලබා දීමට නම් ඒවා ප්‍රසිද්ධ කරන බවට ප්‍රති­ඥා­වක් ලබා දිය යුතුව ඇතැයි යන ආන්දෝලනාත්මක කතිකාවතයි. එතෙක් තමන් සතුව ඇති වාර්තා ආණ්ඩු­වට භාර දීමට සූදා­නම් නැති බව ද ඔහු සඳ­හන් කර සිටී.

උදය ගම්මන්පිල මාධ්‍ය ඉදිරියේ පවසා සිටින්නේ මෙසේයි, “පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රයේ වාර්තාව ආණ්ඩු­වට භාර දෙන්න නම් ඒක ප්‍රසිද්ධ කරන බවට ප්‍රති­ඥා­වක් ඕනෑ. ඉදිරි දින හත තුළ ජනා­ධි­ප­ති­තුමා විසින් දැනට ප්‍රසිද්ධ කර නැති පාස්කු ඉරිදා ප්‍රහා­රය පිළි­බඳ කමිටු වාර්තා ප්‍රසිද්ධ නොක­ළොත් මම ඒවා ප්‍රසිද්ධ කරන බවට පසු­ගිය සඳුදා මාධ්‍ය හමුවේ දී ජනා­ධි­ප­ති­තු­මාට මම අන­තුරු ඇඟෙව්වා.

මේ පිළි­බඳ ප්‍රති­චාර දක්ව­මින් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකා­ශක විජිත හේරත් ඇමැ­ති­තුමා කිව්වේ මා සතු වාර්තාව ආණ්ඩු­වට භාර දෙන්න දවස් තුනක් කල් දෙන බවයි. ඒ වගේම මට වාර්තා ලැබුණු විදිය සොයා ගන්නත් ඕනෙලු. මට වාර්තා ලැබුණු විදිහ නොවේ සොයන්න ඕනේ. මාලි­මාවේ නාය­ක­යන් විප­ක්ෂයේ සිටින කාලයේ ප්‍රසිද්ධ කළ යුතුයි කියලා ආණ්ඩු­වට බල කළ මේ වාර්තා දෙක බලය ලැබුණු පසු ප්‍රසිද්ධ කිරී­මට පැකි­ළෙන්නේ ඇයි කියන හේතු­වයි විජිත හේරත් මහතා රටට හෙළි කළ යුත්තේ.
මේ වාර්තා යට ගහන්න ආණ්ඩුව දක්වන උන­න්දු­වට හේතු­වයි සොයන්න ඕනි. මහ­ජ­න­තා­වට ඇත්ත දැන­ගන්න මේ වාර්තා ප්‍රසිද්ධ කරන්න කියලා ඔබ­තු­මා­ගෙන් ඉල්ලු­වාම ඔබ­තුමා මට කියන්නේ වහාම මගේ ළඟ තිබෙන වාර්තා­වත් ආණ්ඩු­වට භාර දෙන්න කියලා. නමුත් මම වාර්තාව ආණ්ඩු­වට භාර දුන්නාම ඒක ප්‍රසිද්ධ කරන බවට කිසිම පොරො­න්දු­වක් නෑ. මගේ වාර්තා­වත් ආණ්ඩු­වට භාර දුන්නාට පස්සේ ආණ්ඩුව ඒක ප්‍රසිද්ධ නොකර සිටි­යොත් අපි මොකද කරන්නේ? ආණ්ඩුව කියන්නේ මේ තොර­තුරු සද­හ­ටම අබි­ර­හ­සක් කරන්න ආණ්ඩු­වට උදවු කරන්න කියලා. ඒ නිසා ආණ්ඩුව මේ වාර්තා ප්‍රසිද්ධ කරන බවට ප්‍රති­ඥා­වක් ලබා දෙන­තුරු මගේ ළඟ තිබෙන වාර්තා ආණ්ඩු­වට භාර දෙන්න මම සූදා­නම් නෑ.

මෙම වාර්තා දෙක සඟවා තබන්න ආණ්ඩුව උත්සාහ කිරීම මහ­ජන මුද­ලින් සකස් කළ වාර්තා­වල තිබෙන ඇත්ත දැන ගැනීමේ අයි­තිය ජන­තා­ව­ගෙන් උදුරා ගැනී­මක්. මහ­ජන මුද­ලින් සැකසූ වාර්තා­වක අන්ත­ර්ග­තය දැන ගැනී­මට මහ­ජ­න­තා­වට අයි­ති­යක් තියෙ­නවා. ඒ වගේම මේවා සැඟ­වීම ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වෙන්ම සහ­තික කර ඇති ජන­තා­වගේ සිතීමේ නිද­හ­සට වැට­ක­ඩුලු බැඳී­මක්. ඒ නිසා මේ වාර්තාව මා ළඟ තබා ගැනීම බර­ප­තළ අප­රා­ධ­යක් කියලා මාව බය කරන්න විජිත හේරත් ඇමැ­ති­තුමාට බෑ. ප්‍රසිද්ධ කිරී­මට පොරොන්දු නොවෙ­නවා නම් මම මේවා භාර දෙන්නෙත් නෑ. ආණ්ඩුව මේක ප්‍රසිද්ධ නොක­ළොත් දින 7කින් පසු මම මේක අනි­වා­ර්ය­යෙන්ම ප්‍රසිද්ධ කර­නවා.

ජන­තා­වගේ තොර­තුරු දැන ගැනීමේ අයි­තිය වෙනු­වෙන් අප අද වගේම හෙටත් පෙනී ඉන්නවා. පසු­ගිය ජනා­ධි­ප­ති­වරු දෙන්නෙක්ම බල­යට ආවේ පාස්කු වින්දි­ත­යන්ට යුක්තිය ඉටු කර­නවා කියලා. විශේ­ෂ­යෙන්ම වත්මන් ජනා­ධි­ප­ති­තු­මාට විශාල ඡන්ද ගණ­නක් ලැබුණා මේ කාර­ණය සම්බ­න්ධ­යෙන් පෙනී සිටිය නිසා. ජනා­ධි­පති කාර්යා­ල­යෙන් මේ වාර්තා පිට­වුණු ආකා­ර­යයි සොයා බැලිය යුත්තේ. ජාතික ආර­ක්ෂාව අන­තු­රට වැටෙන සංවේදී තොර­තුරු වාර්තා දෙකේ ඇමු­ණු­ම්වල තිබෙන නිසා ඇමු­ණුම් ප්‍රසිද්ධ කරන්න එපා කියලා වාර්තා­වල සඳ­හන් වෙනවා.

ජාතික ආර­ක්ෂාව වෙනු­වෙන් හැම­දා­මත් පෙනී සිටිය විප­ක්ෂයේ මන්ත්‍රී­ව­ර­යෙක් විදි­හට මම මේ ඇමු­ණුම් කිසි­සේත් ප්‍රසිද්ධ කරන් නෑ. මම ප්‍රසිද්ධ කරන්නේ වාර්තා පම­ණයි. ඉමාම් වාර්තාව රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­තුමා ගාව මාස තුනක් තිබුණා. කාට­වත්ම පිට වුණේ නෑ. නමුත් අනුර දිසා­නා­යක ජනා­ධි­ප­ති­තුමා බල­යට ඇවිත් සති තුනක් ගත­වෙන්න කලින් මේ වාර්තා දෙකම පිට­වුණා. ඒ කියන්නේ රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­තු­මාගේ කාර්ය මණ්ඩ­ලය එතු­මාට පක්ෂ­පා­තීව කට­යුතු කළත් අනුර දිසා­නා­යක මහ­තාගේ කාර්ය මණ්ඩ­ලය එතු­මාට පක්ෂ­පාතී නෑ කියන එක නේද? ඒ නිසා මට ලැබුණු විදිය හොයන එක පැත්ත­කින් තියලා ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යෙන් මේ වාර්තා පිට­වුණේ කොහො­මද කියන එක ගැන අපේ හේරත් ඇමැ­ති­තුමා දැන්ම පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කළ යුතුයි.
මේ වාර්තා මම ප්‍රසිද්ධ කරන බව කියලා තිබෙන නිසාත් මේ වාර්තා­වල ඇමු­ණුම් විධි­යට ජාතික ආර­ක්ෂා­වට අති­ශ­යින්ම සංවේදී බුද්ධි තොර­තුරු විශාල ගණ­නක් ඇතු­ළත් වෙලා තිබෙන නිසාත් ඒවා ප්‍රසිද්ධ නොකළ යුතු බවට කමිටු විසින් නිර්දේශ කර තිබෙන නිසාත් මේ වාර්තා ප්‍රසිද්ධ කිරී­මට පෙර රාජ්‍ය රහස් පනත සහ ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත යටතේ මාව අත්අ­ඩං­ගු­වට ගැනී­මට ඇති හැකි­යාව පිළි­බඳ ඊයේ රාත්‍රියේ ආණ්ඩුවේ ඉහළ පෙළේ සාක­ච්ඡා­වක් පැවැති බව අපට ආරංචි වුණා. 2015 සිට 2018 දක්වා දූෂණ විරෝධී කමි­ටු­වට ලැබුණු දූෂණ පිළි­බඳ තොර­තුරු අඩංගු ලිපි­ගොනු මාලි­මාවේ නාය­ක­යන් ප්‍රද­ර්ශ­නය කර­මින් ළඟ තබා ගත්තා. මම දවස් හත­රක් ලිපි­ගො­නු­වක් ළඟ තබා ගැනීම බර­ප­තළ අප­රා­ධ­යක් නම් වසර නව­යක් පුරා­වට මේ ලිපි­ගොනු ළඟ තබා ගත් මාලිමා නාය­ක­යන් කෙත­රම් බර­ප­තළ අප­රා­ධ­කා­රයෝ ද? මට දඬු­වම් කරන්න කලින් ඒ අයට දඬු­වම් කරලා හිටි­යොත් හොඳ ආද­ර්ශ­යක් නේද ඇමැ­ති­තු­මනි.

වංචා දූෂණ පිළි­බඳ තමන් සතු තොර­තුරු ආණ්ඩු­වට ලබා දෙන්න කියා මාලි­මාවේ වසන්ත සම­ර­සිංහ මහතා ජන­තා­ව­ගෙන් ඉල්ලී­මක් කළා. බයක් හැකක් නැතිව දැන් ජන­තාව මේ තොර­තුරු දෙන්නේ කොහො­මද? මේ තොර­තුරු දෙන්න ගිහින් ඒ ජන­තා­ව­ටත් තොර­තුරු තමන් ළඟ මෙතෙක් දව­සක් තබා ගත්තා කියලා මට වගේ දඬු­ව­මට ලක්වීමේ අව­දා­න­මක් ඇති වේද කියන සාධා­රණ බය ඇති වෙනවා නේද? ඒ නිසා දින හත­රක් වාර්තාව ළඟ තබා ගැනීම බර­ප­තළ අප­රා­ධ­යක් කියලා විජිත හේරත් ඇම­ති­තුමා කළ ප්‍රකා­ශය වහාම ඉල්ලා අස් කර ගන්න කියලා මම ඇමැ­ති­තු­මා­ගෙන් ඉල්ලා සිටි­නවා.”

මෙතෙක් පැවති රජයන් වලින් කාපට් එකට යට වූ පාස්කු වින්දිතයන් අපේක්ෂා කරන සාධාරණය අලුත් ආණ්ඩුවක් යටතේ මෙවර හෝ උදාවේවි ද තැතිනම් විවිධ දේශපාලනඥයන්ට තම ඡන්ද අපේක්ෂාවන් වෙනුවෙන් යොදාගත හැකි සංවේදීම මාතෘකාවක් වෙමින් එකිනෙකා තරංගයට හෙළිදරව් කරන්න උත්සාහ කරන ඡන්ද කාල වලට පමණක් මතුවෙන සදාකාලික රහසක්ම වේවිද?
උදය ගම්මන්පිල පුරවැසියෙක් වශයෙන් තමන්ගේ යුතුකම කොන්දේසි විරහිතව සිදු කළ යුතුය. ඔහුගේ දැන් කරළියට පැමිණ තිබෙන මෙම උනන්දුව නොවැම්බර් දාහතර වැනි දායින් පසුව අවසන් වේවිද?

ජනතාවගේ සංවේදී තැන් අවුස්සමින් ආගම ජාතිය දේශය තමාගේ දේශපාලන ගමනට අපූරුවට යොදා ගනිමින් විවිධ නායකයන්ගේ සුරතලා වෙමින් ඔවුන් ළඟ දැවටි දැවටී සිටි ගම්මන්පිල, මෙවර අත තබා ඇත්තේ ඔහු ඉතිහාසයේ සිට මේ දක්වා ගමන් කරන ලද දේශපාලන ගමන් මගේ මීළඟ පිම්මටද?

Related Post