වර්තමාන ජනාධිපතිවරයාගේ සහ විදුලිබල අමාත්‍යවරයාගේ අතිශය දූෂිත ගනුදෙනු කීපයක් අතරින් මුල්තැන ගන්නා අදානි, ඔඩ්ඩමාවඩි සහ පූනකරි විදුලි බලාගාරවලට අදාළ ව්‍යාපෘති මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය නොලැබීමෙන් අතරමැද ඇණිහිට තිබුණි. කොමිසමේ වර්තමාන සභාපතිවරයාගේ ධූරකාලය මෙම වර්ෂයේ ජූලි 15න් අවසන් වීමෙන් අනතුරුව එම තනතුරට ලංකා විදුලිබල මන්ඩලයේ සේවය කර විශ්‍රාමලත් අතිශය දූෂිත නිලධාරියෙක් පත්කර ඔහු හරහා මෙම ව්‍යාපෘතිවලට අනුමැතිය ලබා ගැනීමට වර්තමාන ජනාධිපතිවරයා සහ විදුලිබල අමාත්‍යවරයා උත්සාහ කරන බවට ලංවිම වෘත්තීය සමිති චෝදනා කරයි.
වර්තමානයේ ලංවිම උපසභාපති වරයා වශයෙන් සේවය කරන මෙම නිලධාරියා උතුරු වසන්තය ව්‍යාපෘතියේදී රිචඩ්සන් නමැති ආයතනය සමග කොන්ක්‍රිට් කණු දහස් ගණනකට අදාලව සුවිශාල දූෂිත මිලදී ගැනීමකට මැදිහත් වී ඇති අතර පසුව ලංකා විදුලිබල මණ්ඩලය මගින් සිදුකළ අභ්‍යන්තර විගණනයේ දී මෙම නිලධාරියා වැරදිකරු බවට තහවුරු වී ඇත. එම වාර්තා අදටත් විශේෂ විමර්ශන ඒකක සහ ලංවිම පිලිගොනු වල ඇත. කරුණු එසේ තිබියදී මොහු විසින් සිය දේශපාලනික හිතවත්කම් මත ආයතනයේ පාලනාධිකාරියට එකල විවිධ බලපෑම් කර තමන්ගේ රැකියාව බේරාගෙන ඇති බව වෘත්තීය සමිති පවසයි. නමුත් ඉහත චෝදනා වලට වැරදිකරු වීම හේතුවෙන් මෙම නිලධාරියාගේ උසස් වීම් සහ වාහන බලපත්‍ර දීමනා ඇතුළු වරප්‍රසාද රැසක් ලංවිම පාලනාධිකාරිය විසින් කප්පාදු කළ බවට වෘත්තීය සමිති වැඩිදුරටත් පෙන්වා දෙයි.
වර්තමාන ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වශයෙන් මොහු පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය නියෝජනය කරමින් යාපනය දිස්ත්‍රික්කය ආවරණය කරමින් මැතිවරණ කටයුතු සංවිධානය හා අධීක්ෂණය කරන බවටද සාක්ෂි ඇති බව ඔවුන් පෙන්වා දෙයි. මෙවන් දූෂිත නිලධාරියෙක් මහජන උපයෝගිතා කොමිසම වැනි ජනතාවට සෘජුවම වගකියන ස්වාධීන විය යුතු කොමිසමක සභාපතිවරයා ලෙස පත්කිරීම මගින් රනිල් වික්‍රමසිංහ ජනතාවගේ පරමාධිපත්‍ය මෙන්ම මැතිවරණ කොන්දේසිද උල්ලංඝනය කරන බවට වෘත්තීය සමිති චෝදනා කරයි. මෙම දූෂිත නිලධාරියාගේ වංචාවන්ට අදාළ සියලුම ලිපිගොනු තමන් සතුව පවතින බවත් මෙම නිලධාරියාට සහ ඔහුව මහජන උපයෝගතා කොමිසමේ සභාපති ධූරයට පත්කිරීමට මැදහත් වන සියල්ලන්ටම විරුද්ධව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් ලංවිම වෘත්තිය සමිති දැඩිව අවධාරණය කර සිටියි.